SLIIT වෙතින් උසස් අධ්‍යාපන අවස්ථාවන් රැසක්

    June, 28, 2016

    දැනුමින් සහ නව්‍යකරණ හැකියාවෙන් පරිපූර්ණ වෘත්තිකයන් ලොවට දායාද කිරීමේ මෙරට පුරෝගාමී අධ්‍යාපන ආයතනයක්වන SLIIT ආයතනය, 7000 කට අධික ලියාපදිංචි ශිෂ්‍ය කණ්ඩායමක් සමගින් මෙරට අනෙකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන අතර කැපී පෙනෙයි.

    SLIIT ආයතනය ම තෝරා ගත යුත්තේ ඇයි?
    අත්දැකීම් බහුල, සිසුන්ගේ අනාගතය සරුසාර කිරීම උදෙසා නිබඳ කැපවන ආචාර්ය මඬුල්ල SLIIT ආයතනයේ ශක්තියයි. SLIIT ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතරින් බොහෝ දෙනෙක් පර්යේෂණ ව්‍යාපෘති මෙන්ම නෙළුම් කුළුණ, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය ලබා දෙති. පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, ගෘහ නිර්මාණ සහ සත්කාරක ආදී වූ පුළුල් පරාසයක විහිදුනු විෂය පථයන් ඔස්සේ සාමාන්‍ය උපාධි සහ පශ්චාද් උපාධි හිමිකර ගනිමින් සිය අනාගතය සාරවත් කර ගැනීමට SLIIT පරිශ්‍රයට පිවිසෙන සිසුන් හට අවස්ථාව උදා වේ. මෙරට කීර්තිමත් SLIIT උපාධියක් හිමිකර ගැනීමට හෝ අවසන් වසර කිහිපයේදී ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ කැනඩාව ආදී රාජ්‍යයන්හි ලෝ පතළ හවුල්කාර විශ්වවිද්‍යාල වෙත මාරු වී සිය උපාධි සම්පූර්ණ කර ගැනීමට හෝ සිසුන්ට හැකිය.
    ශාස්ත්‍රීය අධ්‍යාපනික ජාලයට අමතරව SLIIT ආයතනය, 99X, Virtusa, Brandix, Microsoft සහ IBM වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සමග ද සවිමත් සබඳතාවකට හිමිකම් කියයි.

    SLIIT ජීවිතය
    ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරී සංගමය, රොටරැක්ට් සංගමය, SLIIT පරිගණක ක්‍රීඩා සමාජය, පීඨ උළෙල, ප්‍රජා සත්කාරක වැඩසටහන් සහ සංගීත සංදර්ශන, ටැලන්ට් ෂෝ ආදී විවිධ සංගම්, සමාජ සහ ක්‍රීඩා 20 කට අධික සංඛ්‍යාවක් සඳහා සහභාගී වීමට SLIIT සිසුන්ට අවස්ථාව හිමි වේ. SLIIT පරිශ්‍රය තුළ පවත්නා බහුසංස්කෘතික සහ බහුජාතික සමාජය එම සිසුන්ගේ ආකල්පමය වර්ධනය සඳහා වඩාත් ඉවහල් වේ.

    SLIIT නාමය රැන්දූ ආදි සිසුන්
    SLIIT ආයතනය මේ දක්වා උපාධිධාරීන් 9,000 කට අධික සංඛ්‍යාවක් ලොවට දායාද කර ඇති අතර, SLIIT ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපනික සහයෝගය ඇතුළු විවිධ අංශ මගින් වත්මන් සිසුන් සවිබල ගැන්වීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වේ.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි පශ්චාද් උපාධිධරයෙකුවන දිල්ශාන් සිල්වා එවැනි SLIIT ආදි සිසුවෙකි. සිය අධ්‍යාපනික ඉලක්ක ජය ගැනීම සඳහා මහඟු පිටිවහලක් වූ පුහුණු සහ කුසලතා සඳහා සවිමත් පදනමක් සැකසූ SLIIT ආයතනයට ඔහු සිය කෘතඥතාව පළ කර සිටී. "විශිෂ්ට ඉගෙනුම් ක්‍රමවේද සහ පහසුකම් පිළිබඳ සැලකීමේදී SLIIT ආයතනය ඉතා උසස් මට්ටමක පවතින බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි. ලොව කීර්තිමත් ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක රැකියාවක් හිමි වීම තුළින් ම SLIIT ආයතනයේ ප්‍රමිතිය සහ ඊට හිමි පිළිගැනීම මැනවින් පිළිබිඹු වනවා. මගේ සාර්ථකත්වය පිටුපස සිටි SLIIT ආචාර්ය මණ්ඩලයට මාගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා." දිල්ශාන් සඳහන් කළේය.

    මෙරට ප්‍රමුඛත ම උපාධි පිරිනමන ආයතනය ලෙස මෙන්ම, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය ගමන්මග සාක්ෂාත් කර ගැනීම උදෙසාවන මනා තෝතැන්නක් ලෙස ද SLIIT ආයතනය දෙස්-විදෙස් කීර්තියට පත්ව සිටී.