November, 24, 2025
SLIIT ආයතනයේ පරිගණක පීඨය මගින් සංවිධානය කරනු ලබන, එම ආයතනයේ ප්‍රමුඛතම ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරඟාවලිය වන "Codefest" අඛණ්ඩව 14 වන වරටත්, “Digital Evolution: Where Ideas Meet Innovation” තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 4 වන දින, එම ආයතන පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය. ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව පැවති Codefest 2025 මගින්, මෙරට සිටින දක්ෂතම තරුණ නවෝත්පාදකයින් එකම ස්ථානයකට ගෙන ආවේය. මෙම වැඩසටහන සඳහා පාසල් 250 කට අධික සංඛ්‍යාවකින් පාසල් සිසුන් 500 කට අධික පිරිසක් සහ ජාත්‍යන්තර සහභාගිවන්නන් 60 ක් ඇතුළුව විශ්වවිද්‍යාල 30 කට අධික සංඛ්‍යාවකින් විද්‍යාර්ථීන් 2,000 කට වැඩි පිරිසක් සහභාගී විය. මීට අමතරව, වැඩමුළු සහ පාසල් ව්‍යාප්ත වැඩසටහන් හරහා, Codefest විසින් ශ්‍රී ලංකාව පුරා පාසල් සිසුන් 6,000 කට අධික පිරිසකට ධනාත්මක බලපෑම් ඇති කළ අතර, අනාගතය සඳහා අත්‍යවශ්‍ය දක්ෂතා පෝෂණය කිරීම සඳහා වූ එහි ප්‍රමුඛ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කළේය. භූගෝලීය සීමා මායිම් ඉක්මවා යමින්, Codefest 2025 විසින් DevQuest තරඟාවලිය සඳහා විදේශීය සිසුන් 300 කට අධික සංඛ්‍යාවක් ද ආකර්ෂණය කර ගත් අතර, ගෝලීය වශයෙන් පිළිගත් වැඩසටහනක් ලෙස එහි කීර්තිය තවදුරටත් ශක්තිමත් කළේය. වැඩසටහන හරහා ඇතිකරනු ලබන ධනාත්මක ජාතික බලපෑම සහ ජාත්‍යන්තර සහභාගීත්වය සමඟින්, Codefest අඛණ්ඩව SLIIT ආයතනය නවෝත්පාදනය සහ දැනුම බෙදාගැනීම සඳහා වූ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරන අතර, තාක්ෂණික ක්ෂේත්‍රයේ ඊළඟ පරම්පරාවේ නායකයින් ද හැඩගස්වයි.
මෙම තරඟ පාසල් සහ තෘතියික යන අංශ ද්විත්වයම ආවරණය කරන ලදී. පාසල් මට්ටමේ සහභාගිවන්නන් ප්‍රාථමික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ කේතකරණ (Coding) තරඟ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න විචාරාත්මක තරග, සහ කෘත්‍රිම බුද්ධි (AI) තරඟ සඳහා ද, තෘතියික මට්ටමේ තරඟකරුවන් Algothon, Capture the Flag, Datathon, Designthon, Netcom, Cisco Technopreneur, InnovIoT, ReviveNation සහ DevQuest වැනි ඉසව් සඳහා ද සහභාගී වූහ. DevQuest මගින්, සැබෑ ලෝකයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්‍ය කණ්ඩායම් ආකර්ෂණය කර ගන්නා ලදී. තරඟාවලියේ අවසන් වටය 2025 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 4 දක්වා මාලබේ SLIIT ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 99X Technology හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ SLASSCOM හි සභාපතිනී ශෙහානි සෙනෙවිරත්න මහත්මිය, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය සහ භූතානය සඳහා Cisco Systems හි හවුල්කාර පරිසර පද්ධති ප්‍රධානී සජීව සපුමල් මහතා සම්මාන උළෙලේදී ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
පරිගණක පීඨයේ සහකාර උපකුලපති ( Pro Vice Chancellor) මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මෙසේ අදහස් පළ කළේය: “SLIIT හි පරිගණක පීඨය මගින් සංවිධානය කරන ලද Codefest 2025, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තරගාවලිය ලෙසින්, අඛණ්ඩව සිය 14 වන වසර සනිටුහන් කරනවා. මෙම වසරේ, ස්ථාපිත ප්‍රමුඛතම ඉසව්වලට අමතරව, ආකර්ෂණීය නව තෘතියික මට්ටමේ අභියෝග මෙන්ම විවිධ පාසල් මට්ටමේ තරඟ ද හඳුන්වා දෙන ලදී. දිවයින පුරා විශ්වවිද්‍යාල සහ පාසල්වලින් දහස් ගණන් සිසුන් එක් කරන Codefest, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ඩිජිටල් විශිෂ්ටත්වය පෝෂණය කරන ප්‍රගතිශීලී වේදිකාවක් ලෙස අඛණ්ඩව පවතිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත හවුල්කරුවන් සමඟ සහයෝගීව පැවැත්වෙන මෙම වැඩසටහන, මේ වන විට, තාක්ෂණය සහ දක්ෂතා පිළිබඳ සැබෑ ජාතික සැමරුමක් බවට වර්ධනය වී තිබෙනවා.”
පරිගණක පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “පාසල් සහ විශ්වවිද්‍යාල ආවරණය වන තරග 14 ක් ඇතුළත්, අඛණ්ඩව වර්ධනය වන ජාත්‍යන්තර සහභාගීත්වයකින්ද සමන්විත Codefest 2025 හි සාර්ථකත්වය දැකීමෙන් මා ඉතා සතුටට පත් වෙනවා. මෙම ඉසව් අඛණ්ඩව තරුණ සිත් ආලෝකමත් කරන අතර, නවෝත්පාදනයට ආස්වාදයක් ලබා දෙමින්, අපගේ සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා ඉස්මතු කරනු ලබනවා. AI, දත්ත විද්‍යාව, ජාලකරණය, සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරමින්, අධ්‍යයන ක්ෂේත්‍රය සහ කර්මාන්තය සම්බන්ධ කරන අතිශය වැදගත් වේදිකාවක් බවට Codefest පත්වී තිබෙනවා. එය පරිගණක ක්ෂේත්‍රයේ අනාගත නායකයින් හැඩගස්වනු ඇති බවට මම විශ්වාස කරනවා.”
තෘතියික අංශයේ අවසන් තරගයේදී, මොරටුව විශ්වවිද්‍යාලයේ The Byte Force කණ්ඩායම Algothon තරගයේ ජයග්‍රාහකයන් ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලයේම !403_privileged කණ්ඩායම Capture The Flag තරඟයේ ජයග්‍රාහකයන් ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලයේ Data Guild කණ්ඩායම Datathon තරගයේ ජයග්‍රාහකයන් ලෙසත්, UCSC හි Bitrithm කණ්ඩායම Designathon තරඟයේ ජයග්‍රාහකයන් ලෙසත්, Taylor's University හි Kwek Kwek කණ්ඩායම DevQuest තරඟයේ ජයග්‍රාහකයන් ලෙසත්, කැලණිය විශ්වවිද්‍යාලයේ Hydrotech කණ්ඩායම InnovIot තරගයේ ජයග්‍රාහකයන් ලෙසත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Traceroute කණ්ඩායම Netcom අභියෝගතාවේ ජයග්‍රාහකයන් ලෙසත්, SLIIT හි QBITS කණ්ඩායම ReviveNation තරගයේ ඉහළම ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කළහ. CISCO Technopreneur අභියෝගතාවේදී, Informatics Institute of Technology හි Team VisuaLit කණ්ඩායම ශූරතාව දිනාගත් අතර, Investor’s Choice සම්මානය ද ඔවුන්ට හිමි විය. SLIIT හි Miniblocks කණ්ඩායම Impact Innovator සම්මානය දිනා ගන්නා ලදී. පාසල් අංශයේදී, බදුල්ල, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය පාසල් AI තරගයේ ජයග්‍රහණය කළ අතර, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පාසල් කනිෂ්ඨ තරගයේ ජයග්‍රාහකයින් විය. පාසල් ප්‍රාථමික සම්මානය රාජගිරිය Gen AI හි Buddy Book කණ්ඩායමට හිමි වූ අතර, බදුල්ල මධ්‍ය විද්‍යාලයේ OryGen කණ්ඩායම පාසල් ජ්‍යෙෂ්ඨ ශූරතාව දිනා ගත්තේය. මීට අමතරව, බදුල්ල මධ්‍ය විද්‍යාලය ICT Quiz තරගයේ ද ජයග්‍රාහී ස්ථාන ලබා ගනිමින් තරඟවලිය පුරා සිය ආධිපත්‍යය දැරීය.
විශිෂ්ට නවෝත්පාදනයන්, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණික විශිෂ්ටත්වය හඳුනා ගනිමින්, ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, කුසලාන, පදක්කම් සහ සහතික ඇතුළුව රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමන ලදී. මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, Codefest හි සභාපති සහ සම්බන්ධීකාරක මහාචාර්ය අනුරාධ ජයකොඩි මහතා මෙසේ පැවසීය: “14 වන වෙන වරටත් පවත්වන ලද Codefest තරඟාවලියට සිසුන් පිළිගැනීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක් විය. වසර ගණනාවක් පුරා, මෙම වේදිකාව නිර්මාණශීලිත්වය, තාක්ෂණික කුසලතා සහ නවෝත්පාදනය ප්‍රදර්ශනය කිරීම සඳහා වූ තරඟකාරී අවකාශයක් බවට වර්ධනය වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අපගේ කර්මාන්ත හවුල්කරුවන්ගේ සහාය ඇතිව, Codefest 2025 විසින් අනාගත තාක්ෂණික නායකයින්ට අත්වැලක් ලබා දීම සහ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම මගින් ඊටත් නොදෙවෙනි බලපෑමක් සිදු කරන ලදී.
සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව, විචාරාත්මක චින්තනය සහ නවෝත්පාදනය පෝෂණය කිරීම මගින්, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ගෝලීය දැනුම් පද්ධතීන් සඳහා ඊළඟ පරම්පරාව සූදානම් කිරීමට සෘජුවම දායක වී තිබේ. එපමනක් නොව, Codefest වැඩසටහන, ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් සහ ප්‍රජා සම්බන්ධතාවක් ද ගොඩනැංවීමට සමත් වූ අතර තරුණ පිරිස් සැබෑ සමාජ ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වර්ධනයට දායක කරවීමට තාක්ෂණය භාවිතා කිරීමට අත්වැලක් සපයනු ලැබීය.

Video Story