SLIIT Soft Skills + 2016 සාර්ථකව නිමාවට පත්වෙයි

    March, 23, 2016

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ව්‍යාපාර අධ්‍යයනය (Business) පීඨය මගින් අඛණ්ඩව සිවුවන වරටත් සංවිධානය කළ SLIIT Soft Skills + 2016 වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. ''කණ්ඩායම් ක‍්‍රියාකාරකම් හා ඵලදායී සන්නිවේදනය'' තේමාවට අනුව පැවති SLIIT Soft Skills + 2016 වැඩසටහන පාසල් 25 කට අධික සංඛ්‍යාවකින් සහභාගී වූ සිසුන් වෙනුවෙන් පැවැත්වුණි.

    SLIIT Soft Skills + 2016 වැඩසටහන මගින් කණ්ඩායම් ක‍්‍රියාකාරකම්, ගැටළු විසඳීමේ හැකියාව, නායකත්ව හැකියාවන් හා නිර්මාණශීලී චින්තනය සිසුන් අතර ප‍්‍රචලිත කිරීම මෙන්ම අන්තර් පාසල් ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලි හා මෘදු කුසලතා වර්ධන වැඩසටහන් සිසුන් අතර දියත් කිරීම සිදුකරයි.

    රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් වල 11 සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන සිසුන්ට විවෘත වූ SLIIT Soft Skills + 2016 වැඩසටහන මූලික හා අවසන් වටයේ තරග ලෙස අදියර දෙකක් යටතේ පැවැත්වුණි. එමෙන්ම, මෙම තරගවාර දෙකම අංශ දෙකක් යටතේ පැවතුණි.

    නිර්මාණාත්මක කුසලතාව, විශ්ලේෂණාත්මක චින්තනය, ගැටළු විසඳීමේ හැකියාව, නායකත්ව හා සන්නිවේදන හැකියාවන් යන කුසලතාවන් සිසුන් තුළ වර්ධනය කිරීමට හැකි ක‍්‍රියාකාරකම් වලින් SLIIT Soft Skills + 2016 වැඩසටහනේ පළමු කොටස සකස් වී තිබුණි.

    ව්‍යාපාර අධ්‍යයනය (Business) විෂයට අදාළ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලින් SLIIT Soft Skills + 2016 වැඩසටහනේ දෙවැනි අදියර සංවිධානය වී තිබුණි. ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන තුළින් දේශීය හා විදේශීය ව්‍යාපාර අධ්‍යයනයේ මෑතකාලීන වර්ධනයන්, ගෝලීයකරණය හා නව ප‍්‍රවණතා, දේශීය හා විදේශීය සන්නාමයන්, වෙළඳ ලකුණු, උද්‍යෝග වැකි, උපදේශක වැකි ආදිය හා ජාත්‍යන්තර වෙළඳාම් හා ව්‍යාපාර සන්නිවේදන ආදිය පිළිබඳ සිසුන් අතර පවතින දැනුවත්භාවය විමසා බැලීම සිදුවිය.

    SLIIT Soft Skills + 2016 වැඩසටහනේ මූලික වටයේ තරග සඳහා කණ්ඩායම් 35 ක් සහභාගී වූ අතර ඒ අතරින් කණ්ඩායම් 5 ක් අවසන් වටයේ තරග සඳහා තෝරාගැනුණි. අති තියුණු තරගයකින් අනතුරුව ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජයග‍්‍රහණය තහවුරු කරගැනීමට කොළඹ, ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙහි දෙවන හා තෙවන ස්ථාන දිනාගැනීමට පිළිවෙලින් කොළඹ, දේවි බාලිකා විද්‍යාලය හා විදුර විද්‍යාලය සමත්විය. DSI සමාගම මෙවර SLIIT Soft Skills + 2016 වැඩසටහනේ ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය දැරුවේය.

    සේයා රූ සටහන - ක‍්‍රියාකාරකම් වල නිරතවන සිසුන්