December, 10, 2025
SLT සමූහය සිය ප්‍රගතියේ ගමන් මග ඔස්සේ පෙරට යමින් සහ ලාභදායීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ක්‍රමෝපායික පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, 2025 සැප්තැම්බර් 30 වන දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සහ වසරේ මුල් මාස 9 තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ මූල්‍යමය අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලවල තිරසාර පරිවර්තනයක් සිදු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටුකරන්නෙකු ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට සමූහය සමත් වී ඇත.
2025 තෙවන කාර්තුවේදී සමූහය සිය ශක්තිමත් කාර්යසාධනය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් රු. බිලියන 2.2 ක බදු පසු ලාභයක් අත්කර ගත් අතර, එය 2024 තෙවන කාර්තුවේදී වාර්තා වූයේ රු. බිලියන 1.1 ක් වශයෙනි. මූල්‍ය පිරිවැය අවම වීම, ලාභදායීත්වය 100.2% කින් ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් දක්වා තිබේ.
සමාගම් මට්ටමින් මීට සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් SLT සමාගමද පෙර වසරේ වාර්තා වූ බදු පසු ලාභය වූ රු. මිලියන 932 මෙම වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1.4 දක්වා වර්ධනය කරගෙන තිබේ. මෙය 53% ක වර්ධනයක් වන අතර, මූල්‍ය පිරිවැය පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. Mobitel සමාගමේ ලාභය 2024 තෙවන කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 17 ට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී රු. මිලියන 639 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 3,660% ක් වැනි දැවැන්ත වර්ධනයකි.
2025 වසරේ පළමු මාස 9 තුළ SLT සමූහයේ බදු පසු ලාභය, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 770 ට සාපේක්ෂව, රු. බිලියන 6.5 ක් දක්වා කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. සමාගම් මට්ටමින් ගත් විට, SLT සමාගම රු. බිලියන 4.1 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර එය 2024 මුල් මාස 9 තුළ වාර්තා වූ රු. බිලියන 1.2 ට සාපේක්ෂව 238% ක වර්ධනයකි. Mobitel සමාගම සිය පිරිවැටුම ඉදිරියට ගෙන යමින් සහ මූල්‍ය ප්‍රතිසාධනය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් තහවුරු කරගනිමින්, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව රු. බිලියන 1.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කරගෙන තිබේ.
"මෙම වසරේ මුල් මාස 9 හි මූල්‍ය ප්‍රතිඵල මඟින් SLT සමූහයේ ක්‍රමෝපායික පරිවර්තනයේ ශක්තිය සහ කාර්ය මණ්ඩලයේ ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු වනවා. අපගේ ලාභදායීත්වය ඉහළ යාම මූල්‍යමය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති අතර, එය නව ආයතනික පාලනයක, වඩාත් තියුණු ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රයත්නයක සහ රටේ ප්‍රගතියට දායක වීම සඳහා වන නොසැලෙන කැපවීමක ලකුණු පෙන්නුම් කරනවා. මේ ආකාරයට පැහැදිලි අරමුණකින් සහ ශික්ෂණයකින් යුතුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගැන්වීමට ලැබීම අපට ගෞරවයක්." SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.
ස්ථාවර වර්ධනයක් හමුවේ ලාභදායීත්වය ශක්තිමත් කිරීම
SLT සමූහය 2025 තෙවන කාර්තුවේදී සිය ශක්තිමත් මූල්‍ය ගමන්මඟේ අඛණ්ඩව ඉදිරියට යමින්, සමූහ මට්ටමේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 18.6% කින් වර්ධනය කරගෙන තිබේ. SLT සමාගම් මට්ටමේ මෙහෙයුම් ලාභය 0.1% ක් වැනි සුළු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, Mobitel සමාගම පෙර කාර්තුවල වාර්තා වූ පරිවර්තනයේ ප්‍රතිඵල ඔස්සේ වඩාත් ඉහළ ප්‍රගතියක් වාර්තා කරගනිමින් සිය මෙහෙයුම් ලාභය මිලියන 897 සිට රු. මිලියන 1,184 දක්වා 32% කින් වර්ධනය කරගෙන ඇත.
සමූහයේ බදු පෙර ලාභය 2024 තෙවන කාර්තුවට සාපේක්ෂව 93% කින් ඉහළ ගොස් ඇති අතර, ශුද්ධ ලාභය ද ඒ හා සමාන ගම්‍යතාවයක් පෙන්නුම් කරමින්, පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 100% කින් ඉහළ ගොස් තිබේ. Mobitel සමාගමේ බදු පෙර ලාභය 125% කින් ඉහළ ගොස් රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී ඇත.
2025 තෙවන කාර්තුව සඳහා සමූහයේ ආදායම රු. බිලියන 29.5 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 3.3% ක වර්ධනයකි. සමාගම් මට්ටමින් SLT සමාගමේ ආදායම 1.7% කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ ව්‍යාපාර ආදායම් සේවා යන අංශවල වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
Mobitel සමාගමේ කාර්යසාධනය, වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස අඛණ්ඩව පැවතුණු අතර, එහි ආදායම රු. මිලියන 11,651 සිට රු. මිලියන 12,115 දක්වා 4% කින් ඉහළ ගොස් ඇත. මෙම යහපත් ප්‍රතිඵල මඟින් පැහැදිලි වන්නේ, විශේෂයෙන්ම දත්ත සේවා සහ ජාල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ Mobitel සතු පිළිගැනීම සහ එම සේවාවන් සාර්ථක ලෙස සැපයීම සඳහා සමාගම සතු හැකියාවයි.
පිරිවැය ශික්ෂණය සහ මූල්‍යමය විචක්ෂණශීලී බව
සමූහයේ පිරිවැය ප්‍රශස්තකරණ ක්‍රමෝපායන් එහි ලාභදායීත්වය වර්ධනය කරගැනීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් අඛණ්ඩව ඉටුකළේය. 2025 තෙවන කාර්තුව සඳහා සෘජු පිරිවැය සමූහ මට්ටමින් 3.8% කින් සහ SLT සමාගම් මට්ටමින් 5.8% කින් පහළ ගිය අතර, කාර්යක්ෂමතා විධිවිධාන ඔස්සේ මෙහෙයුම් පිරිවැය 2.5% කින් අවම කරගනිමින් පිරිවැය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට Mobitel සමත් විය.
2025 තෙවන කාර්තුව තුළ SLT සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ පිරිවැය 27.4% කින් ඉහළ යාම හේතුවෙන් සමූහ මට්ටමේ විකුණුම් සහ අලෙවිකරණ පිරිවැය 14.5% කින් ඉහළ ගොස් තිබේ. ඊට ප්‍රතිපක්ෂව Mobitel සමාගමේ අලෙවිකරණ පිරිවැය පහළ යාමක් වාර්තා වී ඇත. සමූහ මට්ටමින් පරිපාලන වියදම් 8.2% කින් ඉහළ ගොස් ඇති අතර, ක්‍රමෝපායික වර්ධන වැඩසටහන්වලට සමගාමීව SLT සහ Mobitel මෙම වැඩිවීමට සමානුපාතිකව දායක වී ඇත.
2025 තෙවන කාර්තුවේදී මූල්‍ය පිරිවැය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. සමූහ මට්ටමේ පොලී පිරිවැය 24.2% කින් පහළ ගොස් ඇති අතර, ණය ගැනීම් අඩු වීම සහ මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු වීම හේතුවෙන් SLT සමාගම සිය මූල්‍ය පිරිවැය 30.1% කින් අවම කරගැනීමට සමත් වී තිබේ. ජාල ආවරණය සහ ධාරිතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා සිදු කරන ලද ණය ගැනීම් වැඩිවීම හේතුවෙන් Mobitel සමාගමේ මූල්‍ය පිරිවැය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. මෙම ප්‍රතිඵල මඟින් පෙනී යන්නේ, සමූහය මූල්‍ය විචක්ෂණශීලීභාවය සමඟ ආයෝජන සමතුලිත කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින අතර, ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයෙහි අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි සහ පැහැදිලි ඉදිරි දැක්මක් සහිත පුරෝගාමියෙකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට සමත් වී ඇති බවයි.
"SLT සමූහය 2025 වසරේ මුල් මාස 9 තුළ වාර්තා කරගෙන ඇති මෙම කාර්යසාධනය, සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමෙහි සහ ක්‍රමෝපායික සුපැහැදිලිතාවෙහි සෘජු ප්‍රතිඵලයකි. රටේ සම්බන්ධතාවන්හි අනාගතය හැඩගැස්වීම සඳහා මෙන්ම තිරසාර වර්ධනය බලගන්වන්නෙකු ලෙස අප ඩිජිටල් යටිතල පහසුකම් සහ නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරනවා. මෙම ප්‍රතිඵල මඟින් පිළිබිඹු වන්නේ, අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන වටිනාකමක් ලබා දීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීමයි." SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා පැවසීය.
"පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභය හා සසඳන විට 2025 මුල් මාස නවය තුළ Mobitel සමාගම රු. බිලියන 1.7 ක් වැනි ඉහළ ලාභයක් වාර්තා කිරීම, සැලසුම් විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ සහ ක්‍රමෝපායික කඩිසර බවේ ප්‍රතිඵලක් ලෙස හැඳින්වීමට පුළුවන්. තෙවන කාර්තුව තුළ අප අත්කරගෙන ඇති ස්ථාවර වර්ධනය, අනුගත වීම, නවෝත්පාදනය සහ වටිනාකම් පිරිනැමීම සඳහා සමාගම සතු හැකියාව පිළිබිඹු කරනවා. දත්ත සේවා, ජාල ගුණාත්මකභාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සමාගම යොමු කර ඇති ක්‍රමෝපායික අවධානය හේතුවෙන්, වෙළඳපොළ තුළ වඩාත් හොඳින් ස්ථානගත වන අතරම මූල්‍යමය වශයෙන් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබුණා.” Mobitel සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා පැවසීය.
Video Story