SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

    July, 3, 2025

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පාරිසරික සමතුලිතතාවයේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන්  විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.  මෙම ශිෂ්‍යාවන් කොළඹ, වයඹ සහ ඌව වෙල්ලස්ස යන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබයි.
    නීල කාබන් පරිසරය පද්ධති යනු පරිසරයේ පැවැත්මට අතිශයින් වැදගත් වන පරිසර පද්ධති එකතුවක් වන අතර, මෙම පර්යේෂණ මගින් එම පරිසර පද්ධති සම්බන්ධයෙන් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, විශ්ව විද්‍යාල නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත වූවකි. මෙය විද්‍යාත්මක අධ්‍යයනයන්ට අර්ථවත් ලෙස දායක වෙමින් මෙරට නීල කාබන් පරිසර පද්ධති රැකගැනීම සඳහා වැදගත් වන සොයාගැනීම් සිදුකිරීමට තරුණ පර්යේෂකයන්ට ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම මෙය පාරිසරික තිරසරත්වය වෙනුවෙන් SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක.

    2024 වසරේදී තෝරාගනු ලැබූ මෙම ශිෂ්‍යත්වලාභීන්ට තම පර්යේෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 250,000 ක් දක්වා මූල්‍යාධාර හිමි විය. මෙමගින් ශිෂ්‍යත්වලාභීන්ට තම පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික භාවිතාවන් ගවේෂණය කිරීමට, තිරසර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමට සහ නව්‍ය පර්යේෂණවල යෙදීමට මෙන්ම තම විද්‍යාත්මක සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීමටද හැකියාව ලැබේ.

    ශිෂ්‍යත්ව හිමි කරගත් ශිෂ්‍යාවන් ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, පරිසර ප්‍රතිසංස්කරණය, සංරක්ෂණය සහ නීල කාබන් පරිසර පද්ධති වැනි විෂයන් ආශ්‍රිතව තම පර්යේෂණ සිදුකරති. මීට අමතරව, මෙම පරිසර පද්ධති සහ ඒවා මත යැපෙන ප්‍රාදේශීය ප්‍රජාවන් අතර සිදු වන අන්තර්ක්‍රියා විශ්ලේෂණය කිරීමටද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ඔවුන් දිරිගන්වනු ලබයි.

    ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරුවන් විසින් නියමිත මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කරන ලද පර්යේෂණ යෝජනා මාර්ගගත ක්‍රමවේදය  හරහා SLT-MOBITEL ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු විය. ඉදිරිපත් වූ යෝජනා අතරින් තෝරාගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලද අතර, එහිදී ඔවුන්ට විශේෂඥ මණ්ඩලයක් වෙත තම පර්යේෂණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.

    මෙම ශිෂ්‍යත්වලාභීහු දැනටමත් Antifungal Property Exploration, Total Ecosystem Carbon Stock Estimation සහ Saltmarsh Vegetation Characterization වැනි මූලික තේමාවන් ඔස්සේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටිති.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කරමින් විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලිය ඔස්සේ දීර්ඝකාලීන පාරිසරික හා සමාජයීය ප්‍රතිලාභ අත්කර දෙන වැඩසටහන්වලට සහය වීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) වැඩසටහන්වල කොටසක් වන මෙය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරාගැනීම සඳහා සෘජුවම දායක වන මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක.

     

    ඡායාරූපය: (වමේ සිට) SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ සේවා) ඈන් ප්‍රනාන්දු, SLT සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ සේවා) අනුරුද්ධ සූරියආරච්චි‍, ශිෂ්‍යත්වලාභීන් වූ ධනංජි විජේරත්න (වයඹ විශ්ව විද්‍යාලය), ගයාෂි කාවින්ද්‍යා පෙරේරා (කොළඹ විශ්ව විද්‍යාලය) සහ ගයනි දිසානායක (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපතිනි මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි සහ SLT අලෙවි කළමනාකරු වජිර හපුහින්න යන මහත්ම මහත්මීන්