SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය කරා යන ගමන බලගන්වයි

    September, 29, 2025

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

    2025 වසරේ පළමු අර්ධය තුළ SLT-MOBITEL සමාගමේ කොටස් විකිණීම සඳහා සලකා බැලුණ ද, එම සමාගම සමාලෝචිත කාල සීමාව තුළ ශක්තිමත් ලෙස ලාභදායී තත්ත්වයට පත් වූ අතර, සමාගම රටේ තාක්ෂණික හා ආර්ථික වර්ධනයට මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ  වගකීම ඉටු කරණ ප්‍රමුඛතම සමාගම බවට පත් විය.

    රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීම

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ දී SLT-MOBITEL වෙත තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති අතර, SLT-MOBITEL සමාගම 'ලංකා රාජ්‍ය ජාලයේ’ (LGN) ආයතන අතර අන්තර් සබඳතා සක්‍රීය කිරීමේ ප්‍රමුඛතම බලවේගය ලෙස, සමස්ත ක්‍රියාවලිය ආශ්‍රිත සහයෝගීතා සක්‍රීය කිරීම සහ විද්‍යුත් පාලන වේදිකාවලට සහයෝගය ලබා දීම සිදු කරයි.  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ SLT-MOBITEL විසින් කළමනාකරණය කරනු ලබන LGN, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ පරිමාණය සහතික කරමින් වර්ධනය වන ජාතික ඩිජිටල් පාලන රාමුව සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කරයි.

    LGN ට සමගාමීව, SLT-MOBITEL සමාගම විසින් පූර්ණ වශයෙන් කළමනාකරණය කරනු ලබන ‘Lanka Government Cloud' සේවාව මඟින් ස්මාර්ට් පාලන යෙදුම් සඳහා සරිලන අති නවීන යටිතල පහසුකම් සපයයි. ‘Lanka Government Cloud’ සේවාව හරහා, කෘත්‍රිම බුද්ධිය, ප්‍රාමාණික වශයෙන් විශාල දත්ත විශ්ලේෂණය සහ ගුණාත්මක බවින් ඉහළ ඩිජිටල් සේවාවන් ප්‍රවර්ධනය සඳහා සහයෝගය ලබා දෙන අතර, එම සේවාව, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා රාජ්‍ය ආයතනවලට සහයෝගය ලබා දෙයි.

    මෙහි දී අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසුවේ, “SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම සහ නවීකරණය කිරීම සඳහා නිරන්තරයෙන් ආයෝජනය කරන බව පැවසිය යුතුමයි. ෆයිබර් ජාල, 4G,  5G සහ Cloud සේවා   ආවරණය කරමින් සිදු කරනු ලබන මෙම ආයෝජන ජාතියේ ඩිජිටල් පරිවර්තනයේ කොඳු නාරටිය ලෙස හඳුන්වා දුන්නොත් මා නිවැරදියි. මෙම වර්ධනයට සක්‍රීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සහයෝගය සහ මඟ පෙන්වීම අපි බෙහෙවින් අගය කොට සලකනවා.” යනුවෙනි.

    “2025 වසරේ මුල් භාගයේ සිදු වූ මූල්‍ය පරිවර්තනය SLT-MOBITEL සමාගමේ අනාගතයට ශක්තිමත් පදනමක් වුණා. මෙම පරිවර්තනයට පෙර පැවති රුපියල් මිලියන 323 ක අලාභය, රුපියල් බිලියන 4.28 ක බදු පසු ලාභයක් බවට  පරිවර්තනය කිරීමට අපට හැකි වුණා. අද වන විට මෙම  ආදායම රුපියල් බිලියන 55.2 දක්වා ඉහළ ගොස් ඇති බවත්, EBITDA රුපියල් බිලියන 21.7 දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසන්නේ මහත් සතුටින්. අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ මූල්‍ය කළමනාකරණය මෙම ජයග්‍රහණයට වගේම, ජාතික ඩිජිටල් හඳුන්වා දීම වේගවත් කරමින්,  මීළඟ පරම්පරාවට සරිලන තාක්ෂණය  සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගැන්වීම වෙනුවෙන් අප ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපට ශක්තියක් වුණා. රටේ අනාගත ස්ථාවර වර්ධනයට ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා සහ නවෝත්පාදන  හඳුන්වා දෙන  තිරසාර සමාගමක් බවට SLT-MOBITEL පරිවර්තනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය මොතිලාල් මහතා ප්‍රකාශ කළේ ය.

    5G සේවා ප්‍රවර්ධනය

    සාර්ථක අත්හදා බැලීම් සහ අඛණ්ඩ ප්‍රසම්පාදනයකින් පසුව SLT-MOBITEL සමාගම, ශ්‍රී ලංකාවේ 5G ජාලය දියත් කිරීමට සූදානම් වන අතර, එමඟින් වසර පහක් තුළ ප්‍රශස්ත වර්ධනයක් සහ වාර්තාගත මූල්‍ය ඉතිරියක් ලබා ගත හැකි බව එම සමාගම අවධාරණය කරයි. වාණිජ වශයෙන් 5G සේවා දියත් කිරීම මඟින් කාර්යක්ෂම සහ දැවැන්ත සම්බන්ධතාවක් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සහ එමඟින් ස්මාර්ට් නගර, ස්වයංක්‍රීය පද්ධති, IoT නිෂ්පාදන සහ තත්‍ය කාලීන යෙදුම් සක්‍රීය කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ස්ථානගත කිරීම SLT-MOBITEL සමාගමේ අරමුණයි.

    ව්‍යාපාරික ක්ෂේත්‍රය බල ගැන්වීම

    සියලුම මට්ටම්වල ව්‍යාපාරවලට ජාත්‍යන්තර මට්ටමේ සබඳතා සහ ඩිජිටල් සේවා  සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දුන් විට රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් ලෙස වර්ධනය වන බව SLT-MOBITEL ඉතා හොඳින් හඳුනා ගෙන ඇති අතර, එම නිසාම තාක්ෂණික ක්ෂේත්‍රය ආශ්‍රිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ මහා පරිමාණ ව්‍යාපාර ආදී වශයෙන් සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි සකස් කරන ලද ව්‍යාපාරික අවශ්‍යතා ඉලක්ක කරගත්, පරිමාණය කළ හැකි විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

    ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන අංශ ලෙස,  තාක්ෂණික ක්ෂේත්‍රය ආශ්‍රිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර, දැරිය හැකි මිල ගණන් යටතේ ලබා දෙන සම්බන්ධතා,  Cloud  සේවා සහ වර්ධනයට සහයෝගය ලබා දෙන ඩිජිටල් මෙවලම් ආදිය ප්‍රවර්ධනය කිරීමට SLT-MOBITEL කටයුතු කරන අතර,  ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්‍යවශ්‍ය තාක්ෂණයෙන් සමන්විත ඩිජිටල් සේවා පැකේජ හඳුන්වා දීමට සහ සයිබර් ආරක්ෂාව සැපයීමට ද  SLT-MOBITEL සමාගම කටයුතු කරයි.

    SLT-MOBITEL SME Xcelerate සේවාව හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා ICT soft bundles හා සම්බන්ධතා, සයිබර් ආරක්ෂාව(cyber security), Cloud සේවා සහ ඩිජිටල් අවශ්‍යතා සපුරාලන ආරම්භක මට්ටමේ ව්‍යාපාර සඳහා StartSmart පැකේජය වැනි සුවිශේෂී සේවා රැසක් ලබා දෙයි. ව්‍යවසාය මට්ටමින් ගත් කල,  SLT-MOBITEL සමාගම අනාගතයට සරිලන ආරක්ෂිත ජාල විසඳුම් සහ දේශීය Cloud සේවා ලබා දීමට කටයුතු කරන අතර, එමඟින් ව්‍යාපාරවලට අවශ්‍ය පරිදි යෙදුම් පරිමාණය   කිරීමට, නවීකරණය කිරීමට සහ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීමට හැකියාව ලැබේ.

    රජයේ ආයතන සහ මහා පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ ඩිජිටල් පරිවර්තනය ඉහළ නැංවීම සඳහා ව්‍යවසාය මට්ටමේ යටිතල පහසුකම් ලබා දෙන SLT-MOBITEL සමාගම, ජාතික ඩිජිටල්කරණ වැඩසටහනට සහයෝගය ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට දායක වීමට සියලුම අංශ පෙළඹවීම ද විශේෂත්වයකි.

    ජාතික ඩිජිටල් සමානාත්මතාව පවත්වා ගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම

    සියලුම ශ්‍රී ලාංකිකයින්ට නවීන තාක්ෂණික සේවා භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බලපෑම් සහගත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන SLT-MOBITEL සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්ව පාසල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන අතර, එම ව්‍යාපෘතිය යටතේ වර්තමානය වන විට පාසල් සිය ගණනක සිසු සිසුවියන් බල ගැන්වීමට එම සමාගම කටයුතු කර ඇත. මේ හරහා  සිසු සිසුවියන්ට අධිවේගී, ස්ථාවර සහ ආරක්ෂිත අන්තර්ගතයන් සහිත Fiber-to-the-Home (FTTH) සම්බන්ධතාවට ප්‍රවේශය ලබා දීම සිදු කෙරෙන අතර, SLT-MOBITEL දියත් කරන 'ගමට සන්නිවේදනය' වැඩසටහන හරහා ග්‍රාමීය සම්බන්ධතා සඳහා ශක්තිමත් ප්‍රවේශයක් ලබා දීම ද විශේෂිතය. වාර්ෂිකව ඉතා පුළුල් ලෙස දියත් කරන මෙම වැඩසටහන් හරහා සමස්ත දිවයිනම ආවරණය කරමින් ඩිජිටල් සේවා ප්‍රවර්ධනය කිරීමට SLT-MOBITEL සමාගම අරමුණු කරයි.

    මීට අමතරව, 2026 වසර සඳහා සැලසුම් කර ඇති කලාපීය වැඩසටහන් සහ 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව වන 2025 ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව හරහා අති නවීන තාක්ෂණය සහ දැනුම ජනතාව අතරට ගෙන යාම SLT-MOBITEL සමාගමේ අරමුණයි.

    දැනට ක්‍රියාත්මක වන රැහැන් රහිත ජාල ව්‍යාප්තිය සහ පුළුල් ජාතික ආවරණයක් සමඟ ඩිජිටල් සේවා බෙදා හැරීම ඒකාබද්ධ කිරීම හරහා අවම සේවා පහසුකම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව ඩිජිටල් සේවා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන SLT-MOBITEL සමාගම, ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට ඩිජිටල් ආර්ථිකය තුළ සාර්ථකත්වයට පත් වීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීමට කටයුතු කරන අතර, එහිදී සියලුම පුද්ගලයින් වෙත සමාන අවස්ථා නිර්මාණය කර දීම විශේෂත්වයකි.

    මෙම වැඩසටහන් මඟින් ජාතික ඩිජිටල් සමානාත්මතාව ප්‍රවර්ධනය කරමින් සාමූහිකව සියලු දෙනාටම එක්ව වර්ධනය කරා ගමන් කළ හැකි අවස්ථා නිර්මාණය කරන අතර, එය ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙන විට කිසිදු පුද්ගලයෙකු අතනොහරින බවට හොඳම සාක්ෂියකි.

    තව දුරටත් අදහස් දක්වමින් ආචාර්ය මොතිලාල් මහතා අවධාරණය කළේ, “නව තාක්ෂණය සැමට එක හා සමානව ප්‍රවේශ විය හැකි සහ භාවිත කළ හැකි විය යුතු බව SLT-MOBITEL සමාගම තරයේ විශ්වාස කරනවා. ස්ථානය හෝ පසුබිම නොසලකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඩිජිටල් සේවා භාවිත කරමින්, එහි ප්‍රතිලාභ ලබා ගත හැකි බව සහතික කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. පාසල් හා ග්‍රාමීය වැඩසටහන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීම සහ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් හරහා, අපි සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම ආවරණය කරමින් ඩිජිටල් අනාගතයක් ගොඩනැඟීමට කටයුතු කරනවා.” යනුවෙනි.

    තිරසාරභාවය සහ පාලනය

    තිරසාර ව්‍යාපාරික භාවිතයන් සහ ආයතනික වගකීම් පිළිබඳ මඟ පෙන්වීම සඳහා SLT-MOBITEL සමාගම,  පාරිසරික, සාමාජීය සහ පාලන (ESG) මූලධර්ම ප්‍රවර්ධනය සඳහා කැපවන අතර, සියලු තිරසාර මිනුම්දඬු ප්‍රශස්ත කරමින් ප්‍රගතිය කරා මෙහෙයවීම සඳහා එම සමාගම ESG කමිටු සහ පුළුල් ප්‍රතිපත්ති ස්ථාපිත කර ඇත.

    පාරිසරික වැඩසටහන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, සූර්ය බලශක්ති භාවිතය සහ කාබන් විමෝචනය අවම ක්‍රමවේද භාවිතය වැනි උපායමාර්ගික ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මකවන SLT-MOBITEL සමාගම, මෙම සියලු වැඩසටහන් හරහා දිගු කාලීන ජාතික වර්ධනය සඳහා තිරසාර යටිතල පහසුකම් සංවර්ධනයේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කිරීමට කටයුතු කරයි.

    2040 වසර වන විට පූර්ණ වශයෙන් කාබන් විමෝචනයෙන් තොර වීමේ ඉලක්කය සහිතව ක්‍රියාත්මක වන SLT-MOBITEL සමාගම, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රශස්ත කරමින් කිලෝ වොට් 6,000 ක වහල මත සූර්ය පැනල 200 ක් ඉදි කරමින් 2024 වසරේදී කිලෝ වොට් 620ක්  ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති අතර, ඉතිරිය 2026 වසර වන විට සම්පූර්ණ කිරීමට අරමුණු කරයි. එමෙන්ම වර්තමානය වන විට SLT-MOBITEL සමාගම සිය ආයතනික බලශක්ති අවශ්‍යතාවෙන් 10%ක්  පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා බව ද සඳහන් කළ යුතුම කරුණකි.

    Mobitel විසින් ස්ථාන 400 ක ඉදිකර ඇති සූර්ය පැනල මඟින් කිලෝ වොට් 2,300ක් ජනනය කරන අතර, එය ජාල ඉල්ලුමෙන් 3% ක් ආවරණය කරයි. ඊට අමතරව එම සමාගම කාබන් විමෝචනය මැන බැලීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට සහ ගුවන් යානා මඟින් සිදු වන කාබන් විමෝචනය පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කරන බව ද පැවසිය යුතුමය.

    ආයතනික පාලන ක්‍රමවේද  ශක්තිමත් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළින් විනිවිදභාවය සහ වගවීම සඳහා SLT-MOBITEL සමාගමේ  කැපවීමට උදාහරණ සපයයි.

    SLT-MOBITEL සමගම මීළඟ අදියරට පිවිසෙන විට, සමානාත්මතාවෙන් යුතු, තරඟකාරී මෙන්ම තිරසාර ජාතියක් ගොඩ නංවමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බල ගැන්වීමට ප්‍රශස්ත මට්ටමේ දායකත්වයක් ලබා දීම සඳහා එම සමාගම සූදානමින් සිටී.

     

    ඡායාරූප විස්තරය :

    1. SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා රැස්ව සිටි පිරිස අමතමින්
    2. SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා අදහස් දැක්වූ අයුරු

    Video Story

    Stock Market

    Exchange Rates