SLT-MOBITEL සහ MegaPay (Pay&Go) වෙතින් දිවයින පුරා පාරිභෝගිකයන්ට පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව

    February, 11, 2026

    SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් MegaPay (Pay&Go) සමඟ එක් වී ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

    මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් රටේ නාගරික ප්‍රදේශවල මෙන්ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා පිහිටි Pay&Go යන්ත්‍ර 1,000 කට අධික සංඛ්‍යාවක් හරහා මෙන්ම Pay & Go ජංගම යෙදුම (Mobile app) සහ Pay & Go මාර්ගගත සේවාවන් හරහා නවීනතම තාක්ෂණයෙන් යුතු Mobitel eSIM සම්බන්ධතාවක් ඉක්මනින් ලබාගැනීමට හැකියාව ලැබේ.

    මෙම හවුල්කාරීත්වය වඩාත් කාර්යක්ෂම ඩිජිටල් අත්දැකීමක් සහතික කිරීම, ඩිජිටල් ප්‍රවේශය සරල කිරීම සහ පාරිභෝගික පහසුකම් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. Pay&Go සේවාවන්හි පුළුල් ආවරණ පරාසය සහ ඒවා පැය 24 පුරා භාවිතා කිරීමට හැකි වීම යන සාධක නිසා ශ්‍රී ලාංකික ජංගම දුරකථන පාරිභෝගිකයින්ට ක්ෂණිකව Mobitel eSIM සේවාව හා සම්බන්ධ වී ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳිය හැකි වේ.

    මෙම හවුල්කාරීත්වය රට පුරා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා SLT-MOBITEL ලබාදෙන දායකත්වය මැනැවින් පිළිබිඹු කරයි. එහි සමාරම්භක අවස්ථාවට MegaPay වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී වර්දන් අස්ලිබෙක්යන්, මෙහෙයුම් හා පාරිභෝගික සහය ප්‍රධානී ගයාන් චන්ද්‍රරත්න සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඩෙන්වර් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද,  Mobitel (පුද්.) සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, සාමාන්‍යාධිකාරී (නව වෙළඳපොළ සංවර්ධන) රුක්ෂාන් ද සිල්වා සහ සහකාර කළමනාකරු (නව වෙළඳපොළ සංවර්ධන) මෙලාන් විජේසේකර ආරච්චිගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

    මෙම සහයෝගීතාව මඟින් Pay&Go සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයින්ට දිවයිනේ ජනාකීර්ණ ප්‍රදේශ ඇතුළුව ස්ථාන රැසක පිහිටා ඇති  Pay&Go යන්ත්‍රවල ප්‍රදර්ශනය කර ඇති QR කේත ස්කෑන් කිරීම මඟින් මෙන්ම Pay&Go ජංගම යෙදුම සහ Pay&Go වෙබ් අඩවිය හරහා මොබිටෙල් eSIM සම්බන්ධතා ලබාගැනීම සහ උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැකි වේ. මේ වන විට මෙරට Pay&Go සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව 600,000 කට අධිකය. මෙම සේවාවන් සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක නිසා මෙරට මෙන්ම විදේශයන්හි සිටින පාරිභෝගිකයන්ට මෙමඟින් කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගත හැකි වේ.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගස්වන පුරෝගාමීන් අතර ඉදිරියෙන්ම සිටින  SLT-MOBITEL මෙබඳු හවුල්කාරීත්වයන් ඔස්සේ දිගින් දිගටම මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට නවීනතම තාක්ෂණයන් සමීප කරවමින් සිටී. ශ්‍රී ලංකාවේ eSIM වෙළඳපොළ පරිණාමය වෙමින් පවතින මේ මොහොතේ, මෙම නව වැඩපිළිවෙළ අනාගතයට ගැළපෙන ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමේ උත්සාහය තුළ පෙරමුණ ගැනීම සඳහා SLT-MOBITEL වෙත ලැබුණු තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

    2015 වසරේ සිටම මෙම සමාගම් දෙක බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් සේවා සඳහා එක්ව කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වයේ තවත් සාර්ථක ඉදිරි පියවරක් වන මෙම නව වැඩපිළිවෙළ පෙරටත් වඩා වැඩි පාරිභෝගික පිරිසක් ආවරණය කරමින් ඔවුන්ට වඩාත් ඉහළ වටිනාකම් තිළිණ කරනු නිසැකය. MegaPay  සතු රට පුරා විසිරුණු 1,000 කට අධික Pay&Go යන්ත්‍ර ජාලය මෙන්ම, එහි වෙබ් අඩවිය සහ ජංගම යෙදුම මඟින් 600,000 කට අධික පාරිභෝගික පදනමකට මෙම සේවාවන් අත්විඳීමට හැකියාව ලැබේ. මෙමඟින් වඩාත් පුළුල් ලෙස ඩිජිටල් සේවාවන් භාවිතා කරන පාරිභෝගික පිරිසක් වෙත ඉතාමත් පහසුවෙන් සමීප වීමට SLT-MOBITEL සමාගමට හැකි වනු ඇත.

    වැඩිදුර තොරතුරු සඳහා ළඟම ඇති Pay&Go යන්ත්‍රය වෙත යන්න. නැතිනම් Pay&Go යෙදුම බාගත (Download) කරන්න. Pay&Go  නිල වෙබ් අඩවිය වන www.paygo.lk වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

     

    ඡායාරූපය: මොබිටෙල් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා සහ Pay&Go සමාගමේ සාමාන්‍යාධිකාරී වර්දන් අස්ලිබෙක්යන් මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. Pay&Go වෙනුවෙන් එහි මෙහෙයුම් හා පාරිභෝගික සහාය ප්‍රධානී ගයාන් චන්ද්‍රරත්න සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඩෙන්වර් ප්‍රනාන්දු යන මහත්වරුද Mobitel වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී (නව වෙළඳපොළ සංවර්ධන) රුක්ෂාන් ද සිල්වා සහ සහකාර කළමනාකරු (නව වෙළඳපොළ සංවර්ධන) මෙලාන් විජේසේකර ආරච්චිගේ යන මහත්වරුද ඡායාරූපයෙහි වෙති.