Smart Class Room ගැන වැඩිදුර පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ දී

    August, 24, 2017

    Smart Class Room වැඩසටහන ‍තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් මෙය හඳුන්වා දී ඇත.

    මේ යටතේ, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති මෙම වැඩසටහනට සමගාමීව එම විදුහලේ විදුහල්පති ඇතුළුව සුහුරු පන්ති කාමර (Smart Class Room) ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුභවතුන් 7 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආසියා අධ්‍යාපන පදනමෙහි (Asia Education Foundation) පුහුණු සංචාරයකට පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේය.

    මෙහිදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන පද්ධතිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක් සහ පාසල් නිරීක්ෂණ සංචාරයකට ද මෙම කණ්ඩායම සහභාගී වීමට නියමිතය. මෙම පුහුණුව ලබා ගෙන දැනුම රටේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමට කැපවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම පිිරිසට උපදෙස් ලබා දී ඇත.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුහුරු පන්ති කාමර වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ආසියා අධ්‍යාපන පදනම (Asia Education Foundation) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල  (UNICEF)  ලබාදෙන දායකත්වය පිළිබඳ ව ද සිය ස්තූතිය පළ කළේය.