SpaceX – STARLINK හි ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරු ලෙස SINGER පත්වෙයි

    August, 5, 2025

    ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙය  Starlink - සිංගර් සබඳතාවය මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.

    ගෝලීය අභ්‍යාවකාශ නවෝත්පාදකයකු ලෙස SpaceX විසින් නිර්මාණය කරන ලද Starlink යනු ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකුට වේගවත්, විශ්වසදායී හා අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ඉහළ කාර්යසාධනයක් සහිත චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියකි. මෙහි විශේෂත්වය වන්නේ පොළොව මත ඇති සීමිත යටිතල පහසුකම් මඟ හරිමින් පෘථිවි කක්ෂය මත චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් භාවිත කරමින් බාධාවකින් තොර ඩිජිටල් අත්දැකීමක් ලබා දීමයි. ලොව පුරා ක්‍රියාත්මක මෙම තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම ඉතා වැදගත් වන්නේ ග්‍රාමීය හා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට දුෂ්කර ප්‍රදේශයන්හි ජනතාවට ආර්ථික වර්ධනය, අධ්‍යාපන අවස්ථා සහ ඩිජිටල් සේවාවන් වෙත පිවිසීම සඳහා මෙතෙක් පැවති බාධක බිඳ හෙලමින් ඔවුන් වෙත මින් පෙර අත් නොවිඳි පරිවර්තනීය අවස්ථාවක් ලබා දීමයි.

    මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන් දියුණු තාක්ෂණ පහසුකම් හඳුන්වාදීමේ සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමට  සිංගර් සමත්ව සිටියි. එමෙන්ම මේ තුලින් දැන් සිංගර් අලෙවිසැල් තුලින් Starlink උපාංග මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා කර දී ඇත්තේ මෙතෙක් අත්නොවිඳි අධිවේගී අන්තර්ජාල සේවාවක් අත්විඳීමේ අසමසම අවස්ථාව ඔවුන් වෙත ගෙන එමිනි. විශේෂයෙන් වැඩි දත්ත ප්‍රමාණයක් භාවිත කරන්නන්, දුරස්ථ සේවකයින්, ව්‍යාපාර, පාසල්, ගොවිපොල, හදිසි සේවා, ව්‍යවසායකයින් හා සංචාරකයින් මෙන්ම නිවාස සඳහාද මෙම නව අන්තර්ජාල පහසුකම් කදිම විසඳුමක් වනු නිසැකය. ඒ තුලින් අධිවේගී අන්තර්ජාල සේවාවක් ඔබට ලබා දීමට මෙතැන් සිට Starlink කටයුතු කරනු ඇත.

    මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව තුල SpaceX හි නිල අනුමැතිය ලත් ප්‍රථම සමාගම ලෙස සිංගර් සමාගම, Starlink සමඟ වන මෙම හවුල්කාරීත්වය ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. එසේම උතුරේ මෙන්ම දකුණේ ජනතාවටත්  අසීමිත අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාකර දෙමින් ලෝකයේ වඩාත් දියුණු චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියක ප්‍රවේශය ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා.” යනුවෙනි.

    මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා “ සිංගර් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවටත් මෙම හවුල්කාරීත්වය සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. Starlink හඳුන්වාදීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ SpaceX සමඟ එක් වෙමින් මෙරට ඩිජිටල් සබඳතාව තව දුරටත් ඉදිරියට ගෙන යාමට අපට හැකි වී තිබෙනවා. ඒ තුලින් නව්‍ය තාක්ෂණය මත පදනම් වූ සාර්ථකත්වයක් සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට අපි කටයුතු කරනවා. හේලීස් සමූහය අනුබද්ධ ආයතනයක් ලෙස අනාගතය වෙනුවෙන් වූ විසඳුම් තුලින් ජාතික ඩිජිටල්කරණ ප්‍රයත්නයන් වෙත අපගේ සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි ” යනුවෙන් පැවසීය.

    තවද පාරිභෝගිකයින් හට Starlink mobile app හරහා තමන්ටම Starlink සේවාව සක්‍රිය කර ගැනීමේ අවස්ථාවද මේ තුළින් උදා කර දී ඇත. තවද සීමිත දත්ත සීමාවන් හෝ කලාපයන් අඩු කිරීමකින් තොරව තමන්ට අවශ්‍ය පරිදි අන්තර්ජාල පහසුකම් කළමනාකරණය කර ගනිමින් අසීමිත මාසික දායකත්වයක් යටතේ අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ නිදහස මේ තුලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට හිමි වේ

    Starlink හි සෑම උපාංග පැකේජයකම Starlink ඩිෂ්, Wi-Fi රවුටර්, සවිකිරීමේ උපාංග, කේබල් හා ඇඩැප්ටරය අඩංගු වන අතර නිවාස, ජංගම සහ ව්‍යාපාරික යන විවිධ අංශයන්ට ගැලපෙන අන්තර්ජාල පැකේජ රුපියල් 69,000 සිට සිංගර් වෙතින් මිලදී ගැනීමට හැකි වනු ඇත. මෙම සියලු උපාංග සඳහා අලෙවියෙන් පසු සේවාව මෙන්ම වගකීම් සහගත සබඳතාවක් රට පුරා ජනතාවට ලබා දීමට සිංගර් කටයුතු කර ඇත්තේ සිය විශ්වසනීයත්වය යළි යළිත් තහවුරු කරමිනි.

    ඒ අනුව සියලු Starlink උපාංග සිංගර් සහ සිංගර් මෙගා අලෙවිසැල්වලින් පෙර ඇණවුම් කළ හැකි අතර www.singer.lk අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ ද පෙර ඇණවුම් කර මිලදී ගැනීමටද අවකාශ උදා වේ. නම්‍යශීලී ගෙවීම් පහසුකම් යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් Starlink මිලදී ගනිමින් පරිපූර්ණ අන්තර්ජාල පහසුකම් විඳගැනීමේ  අවස්ථාව සලසා දීමද පාරිභෝගිකයින්ට තවත් පහසුවක් වනු ඇත.