October, 30, 2024
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රජා සංවර්ධන අංශය වන SriLankan Cares, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සමග එක් වී, රන්මුතුගල සහ මාකොළ සහතිකලත් පාසල්වල දරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක හා ගුවන් සේවා කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් 2024 ඔක්තෝබර් 14 වන දින පැවැත්වුණු මෙම වැඩසටහනේදී දරුවන්ට ඔවුන්ගේ දැනුම හා සතුට වෙනුවෙන්ම සැලසුම් කළ ක්‍රියාකාරකම් රැසක යෙදෙමින් විනෝද වීමට අවස්ථාව උදා විය.
මෙහිදී ඊබට් සිල්වා හොලිඩේස් සමාගම විසින් ලබාදෙන වර්ණවත් ඩබල් ඩෙකර් බස් රථයක නැගී කොළඹ සිට කටුනායකටත්, කටුනායක සිට කොළඹටත් ගමන් කිරීමට දරුවන්ට අවස්ථාව ලැබිණි. කටුනායකදී දරුවන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ 747 ගුවන් යානා අංගණයේ සංචාරයක නිරත වීමටත්, ගුවන් යානාවකට ගොඩ වී එය පරීක්ෂා කිරීමටත් අවස්ථාව හිමි විය. කටුනායක සංචාරය අවසානයේදී මෙම දරු දැරියෝ ගුවන් තොටුපළෙහි පිහිටි ‘පාම් ස්ට්‍රිප්’ (Palm Strip) ආපනශාලාවේදී ප්‍රණීත දිවා ආහාරවේලක රස බැලූහ. කටුනායක සංචාරය නිමවා ආපසු කොළඹ බලා පැමිණි පසුව ඔවුන්ට ගාලු මුවදොර හෝටලය විසින් සංවිධානය කරන ලද, නැටුම්, ගැයුම් හා වැයුම් සපිරි තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට අවස්ථාව උදා විය.
“දරුවන් යනු අප සතු වටිනාම සම්පතයි. ඔවුන්ගේ යහපැවැත්ම සහ අනාගත දියුණුව වෙනුවෙන් අවස්ථා නිර්මාණය කළ යුතු බව ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාස කරනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් මෙලෙස ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සමග අත්වැල් බැඳගැනීම අප වාර්ෂිකව සිදුකරන දෙයක්. මෙම වැඩසටහන් මගින් දරුවන් ලබන සතුට සෑම වසරකදීම අපේ සිත් පහන් කරනවා. ගුවන් යානයක් දැකීම, ගුවන් තොටුපළේ සංචාරයක නිරත වීම හෝ ප්‍රණීත ආහාරපාන රසබැලීම ඇතුළු සෑම දෙයක්ම ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් බවට පත්වෙනු දැකීම අපට මහත් සතුටක්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවි ප්‍රධානී සමින්ද පෙරේරා මහතා පැවසී ය.
“මෙම වසරේ ළමා දින වැඩසටහන සඳහා සුපුරුදු පරිදි SriLankan Cares සහ Ebert Silva Holdings සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. රටේ අනාගත නායකයන් බවට පත්වීමට සිටින දරු පරපුර වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. මෙම වැඩසටහන්වලට සහභාගී වීමට දරුවන්ට අවස්ථාව ලබාදෙමින් අප වෙත ලබාදුන් මිල කළ නොහැකි සහයෝගය වෙනුවෙන් අදාළ පාසල්වලටත් අපගේ නොමඳ ස්තූතිය හිමි විය යුතුයි. දරුවන්ගේ දෑස් සතුටින් ආලෝකමත් වනු දකින විට, ඔවුන් ඉදිරියේ කෙතරම් දීප්තිමත් අනාගතයක් තිබෙන්නේද යන්න අපට නිතැතින්ම සිහිපත් වනවා. ඒ නිසා මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වන සාමූහික ප්රයත්නයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” ගාලු මුවදොර හෝටලයේ සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසී ය.
“අපගේ සුපුරුදු හවුල්කාර සමාගම් දෙක සමග එක් වී නැවත වරක් රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි අපූරු අත්දැකීමක් තිළිණ කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙවැනි අත්දැකීම් මගින් දරුවන් තුළ අභියෝග ජයගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇති වී, ඔවුන් අනාගතය වෙනුවෙන් සුබ සිහින දකින්නට පෙළෙඹෙනු ඇතැයි කියා අප සිතනවා. ඒ ඔස්සේ ඔවුන් අපගේ මවුබිමේ වටිනා සහ වගකීම්සහගත පුරවැසියන් වනු දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.” ඊබට් සිල්වා හොලිඩේස් සමාගමේ සභාපතිනිය වන රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහත්මිය පැවසුවා ය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පේෂලා අබේසූරිය මහත්මිය වැඩසටහන පිළිබඳව මෙසේ අදහස් දැක්වී ය. “මෙම වැඩසටහන දරුවන්ට විනෝදය පමණක් නොව, වටිනා අධ්‍යාපනික අත්දැකීමක් ද ලබා දුන්නා. දරුවන්ගේ සිහින සැබෑ කිරීමට උපකාර කළ මෙවැනි සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කිරීම හා පහසුකම් සැලසීම වෙනුවෙන් SriLankan Cares , Ebert Silva Holdings සහ Galle Face Hotel ආයතන වෙත මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි”.
මෙවැනි වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික දරු පරපුරේ බලාපොරොත්තු දල්වමින් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීමට SriLankan Cares නිරන්තරයෙන් කැප වී සිටී. ඒ වෙනුවෙන් SriLankan Cares විසින් වසර පුරාම වූ විවිධාකාර වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර, ලෝක ළමා දිනය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන එම මෙහෙවරෙහි එක් වැදගත් අංගයක් ලෙස හැඳින්විය හැකි වේ.
Video Story