Sriyani Dress Point, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සවිබල ගැන්වීමට, මිලියන 20ක මූල්‍ය පරිත්‍යාගයක් සහ හදිසි සහන මෙහෙයුම් දියත් කරයි

    December, 18, 2025

    ඇඟළුම් විලසිතා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අලෙවිසල් ජාලයක් වන Sriyani Dress Point ආයතනය, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සවියක් වෙමින්, ' ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ' රජයේ අරමුදල සඳහා රුපියල් මිලියන 20ක දැවැන්ත මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙම ව්‍යසනයත් සමගින් හදිසි සහන සැලසීමේ පුළුල් මෙහෙයුමක් ගම් මට්ටමින් දියත් කිරීමටද එම ආයතනය සමත් විය. ජනතාවට අත්‍යවශ්‍ය අවස්ථාවේ එලෙස මැදිහත් වීම, සමාජ වගකීම ඉටුකිරීම වෙනුවෙන් ආයතනය තැබූ සුවිශේෂී ඉදිරි පියවරක්ද වෙයි.

    මෙම සුවිශාල මුල්‍ය පරිත්‍යාගය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිිකා සනත් කුමාරනායක මහතා වෙත පිරිනැමීම පසුගියදා ජනාධිපති ලේකම් කාරයාලයේදී සිදුකෙරිණි. ඒ, Sriyani Dress Point ආයතනයේ ගරු සභාපති එම්. සෙල්වරාජ් මහතා විසින් එම මුදල් පරිත්‍යාගය සිදුකෙරුණු අතර, සමාගමේ කළමනාකාරිත්ව මණ්ඩලය ඇතුළුව ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙනි.

    එමෙන්ම, ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ මෙහෙවර සඳහා මූල්‍ය පරිත්‍යාගයෙන් එලෙස කැපවුණු  Sriyani Dress Point ආයතනය, ඉන් නොනැවතී, විපතට පත් ජනතාවට හදිසි සහනාධාර පිරිනැමිම සඳහා, ශ්‍රී ලංකාව පුරා පිහිටි තම ප්‍රදර්ශනාගාර 8 හි සේවය කරන කාර්ය මණ්ඩලය ක්ෂණිකව බලමුළු ගන්වමින්, හදිසි ආධාර අවශ්‍ය ප්‍රදේශවලට එම ද්‍රව්‍ය සෘජුව ලබාදීමටද කටයුතු කරනු ලැබීය. මෙම අත්‍යවශ්‍ය අවස්ථාවේ වඩාත් ප්‍රයෝජනවත් අන්දමින් ආධාර බෙදාදීම සඳහා Sriyani Dress Point ආයතනයේ පුළුල් අලෙවිසල් ජාලය මෙන්ම ප්‍රජාවන් හා පවත්වාගන්නා සම්බන්ධතාද උපයෝගී කරගැනුණු අතර, ඒ අනුව, ඇඳුම් පැළඳුම් හා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සහනාධාර විපතට පත් පවුල් වෙත කඩිනමින් ලබාදීමට හැකි විණි. ඒ හැරුණු විට, ජන මාධ්‍ය ආයතන මෙන්ම, වෙනත් ආයතන සමගද අත්වැල් බැඳ ගනිමින්, සහනාධාර  බෙදාදීමේ ප්‍රයත්නයන් සඳහා සහය දැක්වීමටද පියවර ගනු ලැබිණි.

    පැන නැගුණු හදිසි ආපදා අවස්ථා තත්ත්වය හමුවේ මෙලෙස කඩිනම් ප්‍රතිචාර දැක්වීමෙන් අවධාරණය කෙරෙන්නේ, 1993 වසරේ Sriyani Dress Point ආරම්භ කළ දා සිටම මෙවැනි ආපදාවන්වලදී සහන සලසමින්, එහි මුල් බැස ඇති දීර්ඝකාලීන මානුෂීය ගුණාංගයන් වේ. එක් ඇඟළුම් අලෙවිසලකින් ආරම්භ වී, පසුව, 2000 කට අධික පිරිසකට රැකියා සපයමින් දිවයින පුරා ශාඛා ජාලයකින් සමන්විතව ව්‍යාප්ත වුණු මෙම ආයතනයේ ව්‍යාපාරික ප්‍රවේශය සමගින් නිරන්තරයෙන් බැඳුණු දෙයක් නම්, සමාජය උදෙසා අව්‍යාජ ලෙස කැපවීමයි. ආරම්භයේ පටන් මේ දක්වාම තම ආයතනික සමාජ වගකීමට සානුකම්පිතව උරදෙමින් රට පුරාම පාසල්, රෝහල්, අනාථ නිවාස සහ ආගමික ස්ථාන සඳහා Sriyani Dress Point දැක්වූ සහය, එහි සාඩම්බර ඉතිහාසයේ සටහන් වන අතර, මතුවුණු ජාතික ව්‍යසනයේදී මුල්‍ය දායකත්වයෙන් පමණක් නොනැවතී, ගම් මට්ටමින් සහන පිරිනැමීමත් සිදුකරමින් මේ අයුරින් ඒකාබද්ධ සහය ලබාදීම, අනෙකුත් ආයතනවලටද ප්‍රබල ආදර්ශයකි.