STSDP ක්‍රියාත්මක කිරීමට ADB සමඟ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

    November, 4, 2025

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත අරමුදල් උපයෝගි කර ගනිමින් තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසි යටතේ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආයෝජන සංරචකය සඳහා නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා ගැනීම පිණිස සාකච්ඡා සම්මුති පවත්වා ඇත. එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිෂ්කාශන ලබා දී තිබේ.

    ඒ අනුව, තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩ සටහනේ ක්‍රියාකාරකම් මූල්‍යකරණය කිරීමට හැකි වන පරිදි එකී ණය මුදල ලබා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.