SVAT අහෝසි කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී

    September, 12, 2023

    අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය බලපාන පරිදි සරල කළ අගය එකතුකළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන්ඉල්ලා සිටී. 2023 වසරේ මේ දක්වා කාලය තුල, සමස්ත අපනයන 10% කට වඩා වැඩි අගයකින් මෙන්ම ඇඟලුම් අපනයන 19% ක සැලකිය යුතු අගයකින් පහල ගොස් ඇති මෙන්ම, අපනයන සදහා වන ඉල්ලුම තව දුරටත් ඉතා අඩුමට්ටමක පවතී යැයි අපේක්ෂා කරන තීරණාත්මක අවධියක රජය විසින්මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් කළමනාකරණය කරනු ලබන එකතුකළ අගය මත බදු(VAT) ආපසු ගෙවීමේ ක්‍රියාවලියේ දිගුකාලීන අකාර්යක්ෂමතා සහ ප්‍රමාදයන් විසඳීම සඳහා පවතින SVAT ක්‍රමය 2011 දී ක්‍රියාත්මක කරන ලදී. SVAT හඳුන්වා දීමට ප්‍රථමයෙන්, බොහෝ අපනයනකරුවන්ට VAT ආපසු ගෙවීමේ ප්‍රමාදයන් හේතුකරන මුල්‍ය අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය. ඇතැම් විට මෙම ප්‍රමාදයන් වසර පහක්, හයක් දක්වා පමණ දීර්ඝ විය. එමෙන්ම, SVAT ක්‍රමය යටතේම දිගුකලක් නොගෙවූ, මුදල් ආපසු ගෙවීමේ ප්‍රමාණය තවමත් අවධානයට ලක්ව නොමැත. SVAT ක්‍රමය අහෝසි වීමත් සමග, මුදල් ආපසු ගෙවීම් කාර්යක්ෂමව හැසිරවීමට රජයට ඇති හැකියාව පිළිබඳ ගැටළුකාරි තත්ත්වයක් මතුවන අතර, එමඟින් සැලසුම්ගත පියවරයන්හි මෙහෙයුම් ශක්‍යතාව පිළිබඳව සැක පහළ කරයි.

    SVAT ඉවත් කිරීම මෙම අපනයනකරුවන්ට ක්ෂණිකව බලපාන අතර විවිධ කර්මාන්ත  සැපයුම්කරුවන්ගේ මුදල් ප්‍රවාහයන්ට බාධා ඇති කරවන සහ, මූල්‍ය අභියෝග ඇතිකිරීමට ද හේතුවිය හැක. SVAT අහෝසි කිරීම තුලින් ආදායම වැඩිකිරීම හෝ කාන්දුවීම් අවහිර කිරීම කල නොහැකිය.

    විශේෂයෙන්ම, VAT බදුප්‍රතිලාභ සහ ඉන්වොයිස් ගැලපීම සම්බන්ධයෙන් RAMI පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මේ අවස්ථාවේ දී වඩාත් දූරදර්ශී වනු ඇත. තවද, එවැනි පියවරක පරිපාලනමය බලපෑම වැඩිවීම තුලින් අකාර්යක්ෂමතාවය තවදුරටත් වර්ධනය විය හැකි අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුව තවත් මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් සමගින් කාර්ය අධික වීමත් සමග, පරිපාලනමය අවහිරතා සහ VAT බදු ආපසු ගෙවීමේ සැලකිය යුතු ප්‍රමාදයන් ඇති විය හැක.

    දිගුකාලීනව, රජයට වඩාත් ශක්තිමත් මුදල් ආපසු ගෙවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ VAT බදුරාමුව වැනි ජාත්‍යන්තර ආකෘති ගවේෂණය කළ හැකිය. සියල්ලට වඩා, දේශීය අදායම් දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් මානව තාක්ෂණික සම්පත් පැවතීම, විශාල පරිමාණයේ මුදල් ආපසු ගෙවීමේ ගනුදෙනු සිදුකිරීම සඳහා අතිශයින් වැදගත් වේ .

    SVAT ක්‍රමය අහෝසි කිරීම වැනි දැඩි බලපෑමක් ඇති කරන තීරණයක් සැහැල්ලුවෙන් නොගත යුතු බවත් එය පුළුල්ලෙස සිතා බලා තීරණය කල යුතු මූල්‍ය හා ආර්ථික උපාය මාර්ගයක කොටසක් විය යුතු බවත් වාණිජ මණ්ඩලය තරයේ අවධාරණය කරයි. වත්මන් ආර්ථික වාතාවරණය සහ අපනයන කර්මාන්තයට ඇති විය හැකි ප්‍රතිවිපාක සැලකිල් ගෙන, එවැනි සැලකිය යුතු වෙනසක් කිරීමට පෙර රජය දැඩිලෙස සැලසුම් කිරීම, අඛණ්ඩ
    අධීක්ෂණය සහ සියලුම පාර්ශවකරුවන් ඇතුළත් උපදේශන ප්‍රවේශයක නිරත විය යුතු බව අපි තරයේ නිර්දේශ කරමු.