September, 13, 2022
බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය යළිත් සිය සුපුරුදු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ. බ්රැන්ඩික්ස් යනු සෑම විටම ජනතාව, පරිසරය සහ සිය ප්රජාවන් යන ත්රිවිධ අංශ වල යහපත කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන සමූහ ව්යාපාරයකි. මේ වනවිට මෙරට සමාගම් හා ආයතන අතරින් වැඩිම වශයෙන් රුධිර පරිත්යාගයන් සිදුකරන සමාගම බ්රැන්ඩික්ස් වන අතර, මෙවරත් එහි සාමාජික සාමජිකාවන් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් දහස් ගණනින් මෙම උදාර කර්තව්යයට දායක වනු ඇත.
ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට නම් පරිත්යාගශීලීන් වෙතින් අඛණ්ඩව රුධිරය ලැබීම අත්යවශ්ය වේ. මේ නිසාම වසර 13 ක් තම ලේ දන්දීමේ වැඩසටහන පවත්වාගෙන යාමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර, පසුගිය වසර දෙකේදී පමණක් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. සමූහයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් දිවයින පුරා ස්ථාන 23 කදී පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාවට සාමාජික සාමාජිකාවෝ 35,000 කට අධික පිරිසක් දායක වෙති. තවකෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සිදුකරන උදාර මෙහෙවරක් වශයෙන්, බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සාමාජිකත්වයේ පූර්ණ මෙහෙයවීමෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව ක්රියාත්මක කෙරේ.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෞඛ්ය සේවයටද විවිධ අංශ වල සහයෝගය අත්යවශ්ය වී ඇත. මෙම තත්ත්වය හමුවේ නැවත වරක් මෙම ජාතික මෙහෙවර දියත් කිරීමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළේ ය.
“මෙම වටිනා කර්තව්යය සඳහා දායක වීමට වැඩි පිරිසක් පොළඹවා ගැනීමට සමූහයේ සාමාජික සාමාජිකාවන් කටයුතු කිරීම මගින් පෙනී යනුයේ, බ්රැන්ඩික්ස් යනු පරාර්ථකාමී ක්රියාවන් ඔස්සේ යහපත් වෙනසක් සිදුකිරීම සඳහා කැපවුණු, එකම පවුලක් වන් පිබිදුණු මිනිසුන් පිරිසක් සිටින සමාගමක් බවයි. බ්රැන්ඩික්ස් සෑම විටම තම සාමාජික සාමාජිකාවන්ටත්, ප්රජාවන්ටත් පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අප ක්රියාවට නංවා ඇති ‘මනුසත්කාර’ ව්යාපෘතිය යටතේ දැනටමත් මෙම ලේ දන්දීමේ වැඩසටහන් මාලාවට අමතරව, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු වලට පිළියම් වශයෙන් අක්කර 500 ක භූමි ප්රමාණයක් වගාකිරීම, 250,000 කට අධික පිරිසකට පානීය ජල පහසුකම් සපයන ජල සම්පාදන ව්යාපෘති ක්රියාත්මක කිරීම, සහ 1 වසරේ සිට විශ්ව විද්යාල මට්ටම දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්යත්ව සහ පාසල් ලිපිද්රව්ය ලබාදීම වැනි වැඩසටහන් ක්රියාවට නංවා තිබෙනවා. අපගේ පරමාර්ථය වන්නේ, අපගේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරන සෑම ප්රදේශයකම ප්රජාවන්ගේ ජීවන තත්ත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම තුළින්, එම ප්රදේශ අප පැමිණෙන විට පැවති මට්ටමට වඩා යහපත් තත්ත්වයකට පත්කිරීමයි.” බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සමාජ සත්කාර ප්රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.
“ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිරය ලැබෙන්නේ මෙවැනි මානුෂීය ව්යාපෘති තුළිනුයි. බ්රැන්ඩික්ස් යනු දිවයින පුරාම විසිරී පවතින සමූහ ව්යාපාරයක් නිසා, අපගේ සේවාවට ඉතා පුළුල් මට්ටමින් රුධිරය පරිත්යාග කිරීමට එම සමූහයට හැකි වී තිබෙනවා. සාමාන්යයෙන් විශාල වශයෙන් රුධිර පරිත්යාගයන් සිදු නොවන ප්රදේශ පවා මෙම වැඩසටහන් මගින් ආවරණය වීම විශේෂත්වයක්. ඉදිරියටත් රටේ ජනතාව වෙනුවෙන් මේ උදාර මෙහෙවර අඛණ්ඩව ක්රියාවට නැංවීමට බ්රැන්ඩික්ස් කටයුතු කරනු ඇතැයි කියා අපට විශ්වාසයි.” ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්යක්ෂ වෛද්ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසී ය.
මේ වනවිට රුධිරය පයින්ට් 36,296 ක් පරිත්යාග කළ බ්රැන්ඩික්ස් සමූහය මෙරට ‘පෞද්ගලික අංශයේ විශාලතම රුධිර පරිත්යාගශීලියා’ යන විරුදාවලිය ලබා ඇත. මෙය, ලේ දන්දීම යනු අභය දානය දීමක් ය යන විශ්වාසයට සමගාමීව බ්රැන්ඩික්ස් සමූහය විසින් ලොවට ලබාදෙන මහඟු ආදර්ශයකි.


September, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 13 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මොරටුව රාවතාවත්ත ශ්රී වාචිස්සර භාවනා මධ්යස්ථානයේ දී පැවැත්විණි.
HNB FINANCE මොරටුව ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උදාර කටයුත්ත ශාඛා කළමනාකරු ක්රිෂාන් ප්රනාන්දු මහතාගේ නායකත්වයෙන් ඔහුගේ කණ්ඩායම සහ HNB FINANCE හි සහෝදර සේවකයින්ගේ සංවිධාන ශක්තියෙන් පැවැත්විණ.
“වත්මන් වාතාවරණය තුළ ඖෂධ හිඟය, සෞඛ්ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වීම සහ රුධිර අවශ්යතා ඇති රෝගීන්ට රුධිර පාරවිලයනය සඳහා රුධිරය හිඟවීම හේතුවෙන් සෞඛ්ය ක්ෂේත්රය අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටිනවා. මෙම වැඩසටහන ඇතුළුව අප සංවිධානය කරන අනෙකුත් සමාජ සේවා හරහා ප්රාදේශීය සෞඛ්ය ක්ෂේත්රයට අත්වැලක් වන්නට හැකි බව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ දී රුධිරය ලබා දීමට සහාය වීමෙන් අසාධ්ය රෝගීන්ගේ ජීවිත බේරාගෙන ජනතාවගේ සෞඛ්ය යහපැවැත්ම සහතික කළ හැකියි යන්න අපිට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි සහකාර සාමාන්යාධිකාරී පැතුම් සම්පත් කුරේ මහතා පැවසුවේය.
ස්වකැමැත්තෙන්ම රුධිරය පරිත්යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වූ අතර බොරලැස්ගමුව වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහල ( KDU ) සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවාව ^NBTS& සඳහා මෙම රුධිරය පරිත්යාග කරන ලදි.
කොතලාවල ආරක්ෂක විද්යාපීඨ විශ්වවිද්යාල රෝහලෙහි වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩල සහාය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. එපමණක් නොව මෙහිදී රුධිරය පරිත්යාගකල පිරිස සඳහා ආහාරපාන ලබා දුන් අතර හරිතවත් හෙටක් වෙනුවෙන් වූ සමාගමේ සමාජ වගකීම ඉටුකරමින් මෙම පරිත්යාගශීලීන්ට ගෙවත්තෙහි රෝපණය කිරීම සදහා එළවළු පැල බෙදාදීමක්ද සිදුකරන ලදි.
HNB FINANCE ආරම්භයේ සිටම ප්රජා දායකත්වය සහ සමාජ වගකීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන ලදි. එපමණක් නොව බාධාවකින් තොරව සහ පාරිභෝගිකයා කේන්ද්ර කරගත් මූල්ය සේවාවන් සැපයීමට සමාගම මූලිකත්වය ගන්නා අතරම ජනතාවගේ යහපැවැත්ම නඟාසිටුවීමට සහ සමාජ සේවා වැඩසටහන් දියත් කිරීමට ද පෙරමුණ ගෙන කටයුතු කරයි.

Video Story