• Ada Derana BIZ Sinhala
  • Eco Spindles
  • sri lanaka

Eco Spindles 8 වන වරටත් පවත්වනු ලැබූ කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි

August, 16, 2022

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles (Private) Limited 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය මගින් කතරගම පූජා භූමි වන රුහුණු කතරගම දේවාලය, සෙල්ල කතරගම, වැඩිහිටි කන්ද සහ ඒ අවට ප‍්‍රදේශයේ ඉවත දමන ලද PET (polyethylene terephthalate) ප්ලාස්ටික් බෝතල් 43,590ක් එකතු කිරීමට හැකි විය.

කතරගම යනු මැණික් ගඟ, යාල ජාතික වනෝද්‍යානය සහ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආදී වූ මෙරට පාරිසරික වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකින් සමන්විත ප‍්‍රදේශයක් මෙන්ම ශ‍්‍රී ලාංකික සහ ඉන්දියානු වන්දනාකරුවන්ගේ වන්දනාමානයට ලක් වූ පුද බිමකි. උත්සව සමයේදී මිලියනයකට අධික ජනතාවක් කතරගමට පැමිණෙන අතර මෙම කාල සීමාවේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැසක් පරිසරයට එකතු වීම කණගාටුවට කරුණකි. මෙම ප්ලාස්ටික් නුසුදුසු ලෙස බැහැර කිරීම හේතුවෙන් ජල මාර්ග අවහිර වීමේ අර්බුදයක් සහ සත්ව වාසස්ථාන පිළිබඳ ගැටළුවක් පැන නැග ඇත.

කතරගම ප‍්‍රාදේශීය සභාව සහ රුහුණු කතරගම මහා දේවාලය ආශි‍්‍රත ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක කරන මෙම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජූලි මස 29 වන දින ආරම්භ කෙරුණු අතර එය අගෝස්තු 12 වන දින සාර්ථකව අවසන් විය. ප‍්‍රදේශයේ තරුණ සමාජයක් වන සොබා පරිසර තුරුණු සමාජයේ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙක්, Eco Spindles හි ස්වේච්ඡා සේවකයන් 20 දෙනෙක් සහ එහි ව්‍යාපෘති හවුල්කරුවන් පිරිසක් ඊට සහභාගී විය.

2014 වසරේ මෙම කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු Eco Spindles විසින් PET ප්ලාස්ටික් බෝතල් 555,990 ක් එකතු කර ඇති අතර එය කිලෝ 18,533 ක ප‍්‍රමාණයකි. උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයින්ට වගකීම් සහිත ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. තවද Eco Spindles විසින් කතරගම ප‍්‍රදේශයේ එකතු කරන්නන්ගේ ශක්තිමත් ජාලයක් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඔවුන් ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමෙහිලා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිලදී ගෙන ප්ලාස්ටික් එකතු කිරීම තම ජීවනෝපාය කරගත් මෙම ව්‍යවසායකයින්ට සමාගම අඛණ්ඩව සහාය දක්වයි.

”වසංගතය මෙන්ම රට තුල පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ අභියෝග එල්ල වුවද කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් අපට අමතක කළ නොහැක්කේ එමගින් අපගේ පරිසරය සුරැකීම වෙනුවෙන් ඇතිවන ධනාත්මක බලපෑම නිසායි. දිනකට ප්ලාස්ටික් බෝතල් 360,000 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන සමාගමක් ලෙස හරිත ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවිධිමත් සහ වගකීම් විරහිතව බැහැර කිරීමෙන් සිදුවන පරිසර හානිය කෙරෙහි අපි දිගටම අවධානය යොමු කරනවා. එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් BPPL Holdings PLC හි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

Eco Spindles යනු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් කැබලි වලින් සෘජුවම පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමේ හැකියාව ඇති සහ ලෝකයේ දැනට එම පහසුකම සහිත කර්මාන්තශාලා දෙකෙන් එකක් හිමි BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත ආයතනයකි. මෙම ආයතනය බහු අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ වෙමින් සහ එය ආරම්භ කරමින් ශ‍්‍රී පාදය, මුන්නේෂ්වරම් සහ තලවිල ආදී පූජා භූමි කේන්ද්‍ර කරගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරමින් වගකිවයුතු සංවිධානයක් ලෙස අඛණ්ඩව සිය කාර්යභාරය ඉටු කරමින් සිටී.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා අවහිර වූ ගංගා පිරිසිදු කිරීම

එකතු කරන ලද අපද්‍රව්‍ය ප්ලාස්ටික්වල බර කිරා බලමින්

 

ඡායාරූප : Eco Spindles කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය 2022 සඳහා සහභාගී වූ ස්වේච්ඡා සේවකයින්

  • Ada Derana BIZ Sinhala
  • Eco Spindles
  • sri lanaka
  • waste management practices

ඉකෝ ස්පින්ඩ්ල්ස් තාක්ෂණය හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරයි

June, 17, 2022

ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත.

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව - 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් දියත් කරන ලදි.  ‘Waste 2 Value’ යෙදවුම Google Play Store සහ Apple (iOS) App Store හරහා download කළ හැක. මෙම යෙදවුම භාවිතා කරන්නන්ට බහාලුම් ස්ථාන බස්නාහිර පළාතේ 400 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල 100 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ස්ථානගත කිරීමට මෙන්ම පරිසරයට හානියක් නොවන පරිදි ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට ඉඩ සලසයි. මෙම බඳුන්වලට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉකෝ ස්පින්ඩ්ල්ස් මගින් ප්‍රතිචක්‍රීයකරණය කර අගය එකතු කළ අපනයන හරහා රටට විදේශ විනිමය ඉපැයීමට මූලිකව කටයුතු කරයි.

2022 අවසන් වන විට ඉකෝ ස්පින්ඩ්ල්ස් බස්නාහිර පළාතේ ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 700 ක් හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල 300 ක් තැබීමට අදහස් කරයි. මෙමගින් ඉකෝ ස්පින්ඩ්ල්ස් හි ප්‍රතිචක්‍රීයකරණ මුලපිරීම් තවදුරටත් පුළුල් කරමින් විශාලතම දූෂක වලින් එකක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට මහජනතාවට ඉඩ සලසමින් රට පුරා මුළු එකතුව 1,000 දක්වා ගෙන එනු ඇත.

පරිශීලකයින්ට ළඟම ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් සහ අදාළ සම්බන්ධතා තොරතුරු සොයා ගැනීමට ඉඩ දීමට අමතරව Waste 2 Value යෙදවුම චර්යාත්මක වෙනස්වීම් සඳහා පෙළඹවීම සහ බලපෑම් කරයි.

ඉකෝ ස්පින්ඩ්ල්ස් හි මව් සමාගම වන BPPL හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේ “ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීමෙන් සිදුවන පරිසර දූෂණයට එරෙහි සටනේ අර්ථවත් වෙනසක් අත්කර ගැනීමට මහජනතාව අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙනවා.” යනුවෙනි. “පාරිසරික තිරසාරත්වයේ ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ඉකෝ ස්පින්ඩ්ල්ස් පරිසර හිතකාමී පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සඳහා මෙවලම් සැපයීමට උත්සාහ කරන අතරම රට පුරා ප්ලාස්ටික් එකතු කිරීමේ ජාලය සහ යටිතල පහසුකම් සමාන්තරව ශක්තිමත් කරමින් මහජනතාවට එවැනි එකතු කිරීමේ ස්ථාන වෙත වඩාත් පහසු ප්‍රවේශයක් ලබා දෙනවා.” යනුවෙන් එතුමා තවදුරටත් අදහස් දැක්වූවේය.

“පාරිභෝගිකයින් අතර එවැනි පුරුදු ඇති කිරීමට අමතරව PET ප්ලාස්ටික් දෙවන වතාවටත් ප්‍රයෝජන ගැනීමෙන් දේශීය හා ගෝලීය වශයෙන් විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයේ ඔවුන්ගේ පිරිනැමීම්වල තිරසාරභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට නිෂ්පාදකයින්ට සහ ආයතනිකයින්ට අපි උදව් කරනවා. ඉකෝ ස්පින්ඩ්ල්ස් වෙතින් ලබා ගැනීම මගින් රෙදි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඉහළම මට්ටමේ පාරිසරික තිරසාරත්වයට අනුකූලව ප්‍රතිචක්‍රීයකරණය කර ඇති බවට සහතික වෙනවා.’’ යනුවෙන් ආචාර්ය අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් මෙම ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය සඳහා පොලියෙස්ටර් නූල් ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා එකතු කරන ලද පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) අපද්‍රව්‍ය භාවිතා කරයි. සැලකිය යුතු පාරිසරික බපලෑමක් ඇති ඇඟළුම් කර්මාන්තයට තම නිෂ්පාදනවල තිරසාරභාවය වැඩිදියුණු කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

තවද ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන පොලියෙස්ටර් නූල් නිසා ඇඟළුම් කර්මාන්තයට මෙම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩු වන අතර එමඟින් රටට වටිනා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 2 ක විදේශ විනිමය ඉතිරි කර ඇති අතර ශ්‍රී ලංකාවේ මුළු පොලියෙස්ටර් නූල් ආනයනයෙන් 4% ක් සපුරාලයි. 2022 දී සමාගමේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් වීමෙන් පසු ඇඟළුම් අපනයන සඳහා රටේ පොලියෙස්ටර් නූල් අවශ්‍යතාවයෙන් 7% ක් සැපයීමට ඉකෝ ස්පින්ඩ්ල්ස් සූදානම් වන බැවින් මෙය ඩොලර් මිලියන 3.3 ක පමණ ඉතිරියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් පිරිසිදු කිරීමේ මෙවලම්/බුරුසු සහ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන උසස් තත්වයේ කෘත්‍රිම මොනොෆිලමන්ට් මගින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාවයද අවම කර රටට වටිනා විදේශ විනිමය ඉතිරි කරයි. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද මොනොෆිලමන්ට් හරහා එවැනි ඉතුරුම් ඩොලර් මිලියන 3.4 ක් ලෙස ගණන් බලා ඇත.

ප්‍රතිචක්‍රීකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ඉකෝ ස්පින්ඩ්ල්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන වේ. රට තුළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමෙන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ හැකියාවන් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත.