December, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කඩා වැටීමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.84 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,813.84 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,809.72 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.
රු. බිලියන 2.27 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රු. මිලියන 608.52 ක විදේශීය මිල දී ගැනීම් දිනය තුළ වාර්තා වී තිබීමයි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 2.45 ක් රු. 210 බැගින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ලෙස අද දින හුවමාරු වී තිබුණු අතර විදේශීය මිල දී ගැනීම් වටිනාකම ඉහළ යාමට එමඟින් වැඩි දායකත්වයක් ලැබී තිබුණි.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.66 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.21 ලෙසින් වාර්තා වී තිබේ.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන SG HOLDINGS GLOBAL PTE.LTD විසින් එම සමාගමේ කොටස් මිල දී ගැනීම, මෙලෙස විදේශීය මිල දී ගැනීම ඉහළ යාමට හේතුවී තිබේ. ඊයේ (14) දිනයේ දී ද එක්ස්පෝලංකා කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.57 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා වී තිබුණි.
මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වැලිබල් වන යන සමාගම්වල කොටස් මිල පහළ යාම් දැඩි ලෙස බලපා තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

September, 26, 2022
අද (26) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.59 ක කඩා වැටීමක් වාර්තා කළේය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,844.21 ක් ලෙස වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.11 කින් පහළ ගොස් ඒකක 3,156.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.
එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.
අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.
මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

Video Story