November, 21, 2022
ශ්රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේ පිරිමි අවසන් මහා තරඟයේ දී 3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්විණි.
වඩාත් තරගකාරී වූ අවසන් මහා තරඟයේ දී පළමු වටය (25-22), තුන් වැනි වටය (25-20) සහ පස් වැනි වටය (15-11) ඕෂන් ලංකා කණ්ඩායම ජය ගත් අතර, මැලිබන් සමූහය දෙවැනි (25-23) සහ සිවුවැනි (25-22) වට ජයග්රහණය කිරීමට සමත් විය. ශූරතාවට අමතරව ඕෂන් ලංකා කණ්ඩායමේ ක්රීඩකයෝ කිහිප දෙනෙකු සිය පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි කර ගත්හ. එහි දී ඕෂන් ලංකා කණ්ඩායමේ අශේන් පීරිස් දක්ෂතම ග්රාහකයා ලෙස ද, සඳුන් ශ්රීමාල් හොඳ ම පන්දු යවන්නා ලෙස ද, ශ්රීපරත් අරුචුනෙන් හොඳ ම අවහිර කරන්නා ලෙස ද, මොහොමඩ් මීසාන් තරගාවලියේ විශිෂ්ටතම ක්රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ.
ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම් කළමණාකරු රුවන්සිරි මල්ලිකාආරච්චි මහතා මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින්, "මෙම ශූරතාවලිය වොලිබෝල් ක්රීඩාව වෙනුවෙන් අපගේ කැපවීම සහ අපගේ දක්ෂතා ඇගයෙන උච්චතම අවස්ථාව විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය වගේ ම ඕෂන් ලංකා කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා." යනුවෙන් පැවසුවේ ය.
වසර ගණනාවක් පුරා ඕෂන් ලංකා කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය වෙනුවෙන් කණ්ඩායම් නායක බුද්ධික බණ්ඩාර මහතා සිය කෘතඥතාව පළ කළේ, ආයතනය කණ්ඩායම සඳහා ලබා දුන් ඉහළ පෙළේ පහසුකම් මෙම සාර්ථකත්වය කරා ළඟා වීමට බෙහෙවින් ඉවහල් වූ බව පවසමිනි. ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම මීට පෙර 2019 වසරේ දී වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපිරි ලීග් කාණ්ඩයේ ජයග්රහණ අත්කර ගැනීමට සමත් විය.
මෙවර ශූරතාව දිනූ ඕෂන් ලංකා කණ්ඩායම : බුද්ධික බණ්ඩාර (නායක), අශේන් සුමියුරු, සඳුන් ශ්රීමාල්, ගයාන් මල්ලිකාරත්න, චතුරංග රාජපක්ෂ, මොහොමඩ් මීසන්, රෙහාන් මධුශංක, ශ්රීපරත් අරුචුනෙන්, රුවන්සිරි මල්ලිකාරආරච්චි (කණ්ඩායම් කළමණාකරු), ලලිත් ප්රේමලාල් (පුහුණුකරු), ශානුක මදුභාෂ්වන, පසිඳු සඳුරුවන් සහ හසිත ඩිලාන්.

October, 10, 2022
Ocean Lanka පෞද්ගලික සමාගම ශ්රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන අතර, පසුගිය දා එම සමාගම සංවිධානය කළ ‘OCL සේවා අභිමන් - 2022’ සම්මාන උලෙළේ දී සිය දිගුකාලීන සේවා සගයින් ඇගයීම සිදු කෙරිණි.
Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සිය අදහස් ප්රකාශ කළේ මේ අයුරිණි. "ආයතනය වෙනුවෙන් කැප වන සේවක සේවිකාවන් පිරිසක් ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන් ම අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ම වසර ගණනාවක් ඔවුන් අප සමාගම වෙනුවෙන් කැපවීම අපි ඉතා ගෞරවයෙන් අගයනවා. අද වන විට Ocean Lanka සමාගමේ සක්රීය සේවකයින් 788 දෙනෙකු වසර 10 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා. එය සමස්ත සේවක සංඛ්යාවෙන් 41% කට ආසන්න ප්රතිශතයක්. ඒ වගේ ම තවත් සේවක සේවිකාවන් 190 දෙනෙකු වසර 20 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරනවා. ඔවුන් සංඛ්යාව මුළු සේවක සංඛ්යාවෙන් 10% ක්. විශේෂයෙන් වර්තමානයේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය මධ්යයේ පවා ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම ඇත්ත වශයෙන් ම ඇගයිය යුතුමයි."
‘OCL සේවා අභිමන් 2022’ සම්මාන උළෙල යනු Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක් වන අතර, එය එම සමාගමේ කාර්ය මණ්ඩලය, සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතීත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වැඩසටහනකි.
Ocean Lanka සමාගම සිය කාර්ය මණ්ඩලයේ හැකියාවන් අගයමින්, නිරන්තරයෙන් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කරන ආයතනයක් වන අතර, තම කාර්ය මණ්ඩලය අභිප්රේරණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන සමාගමකි. එමනිසා ම Ocean Lanka සමාගමේ සියලු ම සාමාජිකයින් ආයතනය කෙරෙහි දැඩි විශ්වාසයකින් හා කැපවීමකින් ක්රියා කරන බව පැවසිය යුතුමය.

Video Story