• Ada Derana BIZ Sinhala
  • Hemas
  • Piyawara
  • sri lanka
  • Teacher Training Program

හේමාස් අවුට්රීච් පදනම 21 වන වරටත් ‘පියවර’ වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන පවත්වයි

December, 20, 2022

හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල් වල ගුරුවරියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාරයක් වන ‘පියවර’ වැඩසටහන ආරම්භ වූයේ 2002 වසරේදී ය. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග අත් වැල් බැඳ ගනිමින් දියත් කල පියවර ව්‍යාපෘතියේ  අරමුණ වන්නේ , මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධන වැඩ රාමුව යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීමයි. දරුවෙකු සිය ජීවිතයේ තබන මුල් පියවර සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන ‘පියවර’ ලෙස නම්කරන ලදි. දරුවන්ට යහපත් රැකවරණයක් ලබාදෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සැපයීම මෙම වැඩසටහනේ මූලික දැක්ම විය.

‘පියවර’ වැඩසටහන යටතේ දිවයින පුරා පෙරපාසල් රාශියක් ඉදිකර, ඒවා අදාළ පළාත් පාලන ආයතන වෙත භාරදී ඇති අතර, එම ආයතන විසින් එම පාසල් වලට නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් පත්කිරීම සහ එම ගුරුවරුන්ට වැටුප් ගෙවීම සිදුකරනු ලබයි. මෙම පාසල් වල සාමාන්‍ය නඩත්තු කටයුතු අදාළ පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන අතර, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මගින් වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

“වසර 21 ක් තිස්සේ හේමාස් අවුට්රීච් පදනම ‘පියවර’ වැඩසටන යටතේ ගුරුවරුන් රාශියකට පුහුණුව ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දරුවන් සිය දහස් ගණනකගේ ජීවිත වඩාත් යහපත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි. එමෙන්ම මෙය ජාතික මට්ටමේ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සාර්ථක හවුල්කාරීත්වයක් ගොඩනංවා ගැනීම පිළිබඳ මනා උදාහරණයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මෙය භෞතික සීමාවන් ඉක්මවා යමින්, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික දරුවන්ට ගුණාත්මක අතින් ඉහළ අධ්‍යාපනයක් ලබාදීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

හේමාස් අවුට්රීච් පදනම යනු  අවම පහසුකම් සහිත ප්‍රදේශවල දරුවන්ට ලෝක මට්ටමේ පෙරපාසල් අධ්‍යාපනයක් ලබා දෙමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පුණ්‍ය භාරයකි. එමෙන්ම එය ආබාධ සහිත දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ඉහළම තත්ත්වයේ  සේවාවන් ලබාදීමටත්, ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති දුර්මත දුරුකිරීමටත් කැපවී සිටී. මේ වනවිට මෙම පදනම හරහා රටේ දරුවන් 700,000 කට අධික සංඛ්‍යාවකට සහ ඔවුන්ගේ පවුල් වලට සෙත සැලසී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Hemas
  • opens
  • Piyawara
  • Preschool
  • sri lanaka

හේමාස් ‘පියවර’ වැඩසටහනේ 60 වැනි පෙරපාසල විවෘත කෙරේ

June, 16, 2022

හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ  ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යායපත්‍රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල නවතම පෙරපාසලයි.

2002 වසරේදී හේමාස්,කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනිමින් ‘පියවර’ වැඩසටහන ආරම්භ කරන ලදි. මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධ රාමුවට ඇතුළත් ප්‍රධාන අංග වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීම මෙහි මූලික අරමුණ වී තිබේ. පසුගිය දශක දෙකක කාලය තුළ මෙම වැඩසටහන මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියාවට නැංවූ වැඩසටහන් අතර සාර්ථකම වැඩසටහනක් බවට පත්වී ඇත. ‘පියවර’ වැඩසටහන මගින් මේ වනවිට දිවයින පුරා පෙර පාසල් 60 ක් විවෘත කර ඇති අතර ගුරුවරු 200 කට වැඩි පිරිසක් එම පෙරපාසල් වල සේවය කරති. මෙමගින් සෙත සැලසී ඇති දරුවන් සංඛ්‍යාව 4,000 කට අධික ය.

“මුල් ළමා විය සංවර්ධනය සඳහා දායක වීමේ වැදගත්කම හේමාස් සමූහය හොඳින් හඳුනනවා. ‘පියවර’ වැඩසටහන ඔස්සේ අප උත්සාහ කරන්නේ, මෙරට කිසිදු දරුවෙකුට වෙනස්කමක් සිදු නොවීම සඳහා, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ අනාගතය හැඩගැස්වීමටයි. පසුගිය දශක දෙකක කාලය තුළ, ළමා ලේකම් කාර්යාලය සමග අප පවත්වාගෙන යන සම්බන්ධතාව අද වන විට බෙහෙවින් ශක්තිමත් වී ඇති අතර, එය ජාතික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී රාජ්‍ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. ඉදිරි වසරවලදී ශක්තිමත් හා සමාන අවස්ථා සහිත ප්‍රජාවන් ගොඩනැංවීමේ උත්සාහය තවදුරටත් පුළුල් කරමින්,  අපගේ මෙහෙවර අනෙකුත් අඩු පහසුකම්ලාභී ප්‍රජාවන් වෙතද ව්‍යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” හේමාස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

හේමාස් අවුට්රීච් පදනමේ තිරසාර සහ අඛණ්ඩ ව්‍යාපෘතියක් වන ‘පියවර’, ජාතික ගැටලු විසඳීමට සහ ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැගීමේදී රාජ්‍ය-පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ සඵලතාවය පෙන්නුම් කරන සාර්ථක මුලපිරීමකි. මීට පෙර වඩිනාගල පෙරපාසල පවත්වාගෙන යන ලද්දේ එම ප්‍රදේශයේ පොදු ප්‍රජා මධ්‍යස්ථානය තුළ ය. එයද වරින් වර දැඩි වර්ෂාපතනයේ බලපෑමට ලක්වෙමින් පැවතිණි. ‘පියවර’ වැඩසටහන යටතේ විධිමත් පෙරපාසලක් ලැබීම, එම ප්‍රදේශයේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට මහඟු අත්වැලක් වනු නො-අනුමාන ය.

“මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ඇති ඉතා හොඳ මාවතක්. මේ වැදගත් සංවර්ධන අවධියේදී මුල් ළමා විය අධ්‍යාපනය අතිශයින් වැදගත් වනවා. දරුවෙකු උපන් පසු දෙමාපියන්ගෙන් ඉගෙනගන්නා දේ හැරුණු විට එම දරුවාගේ ජීවිතයේ මුල්ම පදනම වන්නේ පෙරපාසලෙන් ලැබෙන අධ්‍යාපනයයි. ‘පියවර’ වැඩසටහන මගින් වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන්ට මුල් ළමා වියට අදාළ අධ්‍යාපන අවස්ථා ලබාදෙනවා. දරුවන්ට තම ජීවිත කාලය පුරාම වැදගත් වන ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. සුරක්ෂිත අභ්‍යන්තර හා බාහිර ඉගෙනුම් පරිසරයන් තුළ තම දරුවන්ට ගුණාත්මක අත්දැකීම් ලබාදීමට කැමැත්තෙන් සිටින දෙමාපියන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට ‘පියවර’ පෙර පාසල් සමත් වනු ඇති බවට අප විශ්වාස කරනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ශ්‍රී ලංකා ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්‍රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ, මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත දරුවන්ගේ ජීවිත පොහොසත් කිරීම ය. භාරකාර පදනමක් ලෙස ක්‍රියාත්මක වන හේමාස් අවුට්රීච් පදනම, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.