January, 12, 2023
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්ය අමාත්ය සටෝෂි ෆුජිමරු (Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්යාපාරිකයින් කණ්ඩායමක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූහ.
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්යාපාරය, පතල් කැණීම, ශ්රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජාත්යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
January, 2, 2023
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්ය සේවකයින්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.
නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්ය සේවා ප්රතිඥාව ලබා දුන්හ.
නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ තේ පැන් සංග්රහයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්රාර්ථනා කරනවා.
මාස පහ හමාරකට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්රව්ය, පොහොර අවශ්ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්රතිව්යුහගතකරණ වැඩසටහන ක්රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.
ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්රමවේදයේ වෙනසක් අවශ්යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.
ඒ වගේම අද තිබෙන දේශපාලන ක්රමයේ ගැටලු විසඳිය හැකි නව ක්රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.
අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්රණයක් ලෙස. මෙය අමාත්යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්රතිපත්ති මාලාව ක්රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්රාමාත්ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්රියාත්මක කෙරෙන්නේ.
තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු ද, සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
December, 28, 2022
අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ ලබා ඇති ක්රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය. මෙරට විශ්වවිද්යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්රධානතම මධ්යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසීය.
යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්ය ආහාර පාන ලබා දීම, බර කිරීම , රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්රීය ක්රමවේදයකට අනුව යන්ත්රානුසාරයෙන් සිදු කෙරේ.
අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.
අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.
එමෙන්ම කිරි ගවයින්ට අවශ්ය ආහාර ලබා දීමේදී වක්ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්රණයක් ද මේ වන විටත් ක්රියාත්මකය. ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.
අඹේවෙල ගොවිපොළට යාබදව දැනට භාවිතයට නොගන්නා, තෘණ වගා කළ හැකි බවට හඳුනා ගත් අක්කර 30ක පමණ භූමි භාගය ද මෙහිදි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
December, 21, 2022
කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමිනි.
ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ.
බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
අපේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මෙම තත්ත්වයෙන් ගොඩ ආ හැකි බව මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිතා කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහාය ලබාදීමට අපි සූදානම්.
පැරණි ක්රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නොමැති නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.
ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.
අද අපේ රටට විදේශ විනිමය අවශ්ය වෙනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමඟ අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපිට පුළුවන් අධ්යාපන සහ සෞඛ්ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න. එමගින් අධ්යාපන සහ සෞඛ්ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා.
කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
December, 19, 2022
එළඹෙන වසරේ ස්වයංපෝෂිත රටක් ඇති කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රොටරි සමාජයෙන් ඉල්ලා සිටියේය.
රජය සහ පෞද්ගලික අංශය එක්ව ආහාර වගා කිරීම , ගබඩා කිරීම, නගර වෙත ආහාර සපයන ජාලය ක්රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්රණයක් ආරම්භ කර ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කර සිටියේ රොටරි සමාජයේ ජාත්යන්තර සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මියගේ ශ්රී ලංකා සංචාරය වෙනුවෙන් රොටරි දිස්ත්රික්ක 3220 විසින් ශ්රැංග්රිලා හෝටලයේ පසුගියදා (14) සංවිධානය කර තිබු හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
රොටරි සමාජය විවිධ අවස්ථාවල රට වෙනුවෙන් උදව් කර තිබෙනවා. මා අගමැති ධූරයට පත්වූ අවස්ථාවේදී රටේ ඖෂධ හිගයක් ඇති වී තිබුණා. ඒ අවස්ථාවේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා මගෙන් ඉල්ලීමක් කළා ඖෂධ ගැනීමට මුදල් සපයා දෙන ලෙස. රොටරි සමාජය වගේම ආහාර සහ කෘෂිකර්ම සංවිධානයත් අවශ්ය ඖෂධ තොග ලබාගැනීමට ඒ අසීරූ අවස්ථාවේ සහයෝගය ලබා දුන්නා. එදා සහයෝගය දැක්වූවා සේම මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමඟත් සම්බන්ධ වී ඊට සහයෝගය දක්වන ලෙස මම රොටරි සමාජයෙන් ඉල්ලා සිටිනවා.
පොහොර නොමැති ගැටලුවත්, යුක්රේන යුද්ධයේ ආදීනවත් තිබියදී මෙම ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන අපි ආරම්භ කළේ එළැඹෙන වසරේ දී රට ස්වයං පෝෂිත කිරීමේ අරමුණ ඇතිවයි. අපේ රටට අවශ්ය ආහාර සුරක්ෂිත කිරීම සඳහා වන වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පහළම ස්ථරයෙන් ජනතාවට නායකත්වය සැපයීම සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලයට පවරා තිබෙනවා. එහිදී ප්රාදේශීය ලේකම්ගේ ඒකාබද්ධ යාන්ත්රණය ක්රියාත්මක කිරීමට එම තලයේ තිබෙන රජයේ සියලුම ආයතන සම්බන්ධ කර තිබෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, රාජ්ය සේවකයන් මෙන්ම විවිධ පුද්ගලයන් සහ ආයතන මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට බාරගෙන තිබෙනවා. රොටරි සමාජයටත් ඒ කොට්ඨාස කිහිපයක් බාරගෙන ආහාර වගාකර, ගබඩා කිරීමටත්, සැපයුම් ජාලයට ආහාර සපයන්නටත්, නගරයට ආහාර ලැබෙන බව තහවුරු කිරීමටත් කටයුතු කරන්න අවස්ථාව තිබෙනවා. එමෙන්ම කොළඹ වැනි නාගරික ප්රදේශවල මන්දපෝෂණය, ආහාර හිඟ ජනතාව සහ ඔවුන්ට ආහාර ලබාදීම සම්බන්ධයෙන් අපි අවධානය යොමුකර තිබෙනවා.
රට පුරා ආහාර බෝග වගා කරන අතරතුර ප්රජා මුළුතැන්ගෙය වැනි වැඩසටහන් ආහාර හිඟ ජනතාවට අවශ්ය ආහාර ලබා දෙනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න තිබෙනවා.
මෙහිදී ඔබලාට හැකියාව තිබෙනවා නම්, කිසිම කෙනෙක් බඩගින්නේ නොසිටින බවට සහතික වීම සඳහා , ආහාර සුරක්ෂිතතා ව්යාපෘතිය සමඟ එකතු වෙන්න. සමාජයේ යම් පිරිසක් ඉතා අපහසු මට්ටමෙන් හිටියත්, අපි සියලු දෙනා එකට එක්වුවහොත් ඔවුන්ගේ අවශ්යතා ඉටුකරදීම සඳහා අපිට ප්රමාණවත් සම්පත් සොයා ගත හැකි බව බව මගේ විශ්වාසයයි.
එහිදී රොටරි සමාජයේ ජාත්යන්තර සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද “Imagine One’ s Dream” යන සිතුවම ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ, අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, රොටරි සමාජයේ දිස්ත්රික් ආණ්ඩුකාර පුබුදු ද සොයිසා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
December, 16, 2022
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක අමාත්යාංශය, නාගරික සංවර්ධන අමාත්යාංශය සහ පරිසර අමාත්යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල ව්යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.
සංචාරක ආකර්ශණයට ලක්ව ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ආකර්ශනයට බාධා නොවන අයුරින්, සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
පළමු අදියර යටතේ ඇල්ල සංචාරක කලාපය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශණීය ගමනාන්තයක් බවට පත් කරන බවත් අනතුරුව සමස්ත ඌව පළාතම සංචාරක ආකර්ශණය දිනාගත් තෝතැන්නක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්ල ප්රදේශය වෙත පැමිණ සිටී දෙස්, විදෙස් සංචාරකයන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ,
ඇල්ල කියන්නේ මේ ප්රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.
අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.
සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන සේවකයින්.සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්ය වෙනවා.
මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.
ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.
සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්රයත්, බැංකු ක්ෂේත්රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී ඇල්ල ව්යාපාරිකයන් ඉදිරිපත් කළ බොහෝ ගැටළුවලට එම මොහොතේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ව්යාපාරික ප්රජාව ජනාධිපතිවරයා වෙත සිය ප්රසාදය පළ කළහ.
අමාත්යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්රනාන්දු , රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් , බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු සහ ඇල්ල ප්රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .
October, 24, 2022
ශ්රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමග 22 දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය.
රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන්ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කිරීමට මෙහිදී අවස්ථාව සලසා දි තිබිණි.
ඒ අනුව තරුණ තරුණියන් නැඟු ප්රශ්න සහ ඒවාට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබා දුන් පිළිතුර පහත දැක් වේ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමා නිතරම ප්රකාශ කරනවා මේ රට ඉදිරියට ගෙන යන්න නම් රටේ තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියා. එදා 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔබතුමන්ට තරුණ නායකයෙකු ලෙස රටේ සංවර්ධනයට දායකවෙමින් ඉදිරියට එන්න අවස්ථාව සලසා දුන්නා. 2048 වන විට ශ්රී ලංකාව සංවර්ධිත රාජ්යයක් බවට පත්කිරීම ඔබතුමාගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ඒ සඳහා තරුණ නියමුවන් තැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවාද,
පිළිතුර
අපි පළමුවෙන්ම කටයුතු කරන්නේ අපේ රට ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක් ඇති කිරීමට. මම රට භාරගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලයි තිබුණේ, මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැකි වුණොත් අපිට අනාගතයක් නැහැ.
එදා රටේ තිබුණු උද්ඝෝෂන මැද මම මේ ආණ්ඩුව භාර අරගෙන පළමුවෙන්ම කටයුතු සැලසුම් කළේ බංකොළොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ලබා ගැනීමට. ඒ සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගීවීමට අවස්ථාව තිබෙනවා.
ඒ සඳහා මම යෝජනා කර තිබෙන එක පියවරක් තමයි හැම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවකම තරුණයෝ පස් දෙනෙක් පත් කරන්න. තවම එම අධීක්ෂණ කමිටුවල මන්ත්රීවරු, සභාපතිවරු තෝරාගැනීම අවසන් වී නැහැ.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරන්න. යෝජිත ජන සභා මාර්ගයෙන් නව තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම අරගලයට සම්බන්ධ වෙලා ප්රචණ්ඩත්වයට නොගිය කණ්ඩායම්වලට අපි ආරාධනා කර තිබෙනවා මේ සඳහා සහභාගී වෙන්න කියා. මෙම පියවර මගින් අපට අවශ්ය අලුත් නායකත්වය බිහි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාර්ගය සකස් කරදීම දැන් අපි සිදුකරමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.
ප්රශ්නය
2048 අපේ රට සංවර්ධිත රාජ්යයක් බවට පත්කිරීමට බෙහෙවින් උපකාරි වන සාධකයක් වන්නේ තරුණයන් ව්යවසායකත්වය සඳහා යොමු කිරීමයි. තරුණයන් ව්යවසායකයන් වශයෙන් ඉදිරියට ගෙන ඒමට ඔබතුමා තුළ ඇති දැක්ම කුමක්ද කියා මම දැන ගන්න කැමැතියි.
පිළිතුර
ව්යවසායකයින් බිහිවීමට පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ වීමෙන් පසුව. බ්රිතාන්ය යුගයේ දී මේවා ආරම්භ කරද්දි 19 වන සහ 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ව්යවසායකයින් බිහි වුණා. නමුත් 1960න් පසුව රජයේ ආර්ථික පාලනය ඉහළ යාමත් සමග ව්යවසායකයන් පිරිස අඩු වුණා. 1977 දී අපි ආසියාවේ ඉතා තරඟකාරී ආර්ථික පසුබිමක සිටියා. අද අපිට තරඟකාරී ආර්ථිකයක් නැහැ. 1977 සිට අද වන තුරු එම වැඩසටහන සමග අපි එකතු වුණේ නැහැ. එහි එක් උදාහරණයක් තමයි ත්රිකුණාමලය තෙල් ටැංකි, වසර 15ක් 20ක් තිස්සේ එහි කටයුතු ඉදිරියට ගෙන යන්නේ නැතිව එම වැඩසටහන නතර කරලා තිබෙනවා. අද LIOC එක නොතිබුණා නම් මෙම සහනයවත් අපිට ලැබෙන්නේ නැහැ.
රටේ ව්යාපාර ගණනාවක් අද බංකොළොත් වී තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන තිබන්නේ ඉතා අසිරුවෙන්. අප පළමුව සිදු කළ යුත්තේ අපේ බැංකු පද්ධතිය ශක්තිමත් කර ගැනීම. ඒ වගේම අපේ ආර්ථිකය තරඟකාරි ආර්ථිකයක් බවට පත්කර ගත යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මේ බංකොළොත් ව්යාපාර භාරගෙන නගා සිටුවීමට තරුණ ව්යවසායකයින්ට හැකියාව තිබෙනවා.
තරුණ ව්යවසායකයින්ට බැංකු ණය ලබා දෙන්නේ කොහොමද කියලා අපි බැලිය යුතුයි. මෙවන් අවස්ථාවක ඉදිරියට යන්න නම් බැංකු ශක්තිමත් විය යුතුයි.
විදේශ ආයෝජන ලබා ගැනීමේ අපේ නීති රීති තවදුරටත් ලිහිල් කරනව නම් මෙරටට ලැබෙන ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා.
ඇගලුම් කර්මාන්තයට අවශ්ය සෑම එකක්ම පිටින් ලබා ගත්තා, අපිට ලැබුණ වාසිය ශ්රමය පමණයි. අද මේ දේවල් අපිට මෙරට නිෂ්පාදනය කරන්න හැකි වෙලා තිබෙනවා. අපි ඒවා පිටරට යවනවා. එලෙස තමයි මේ අගය වැඩිකිරීම ක්රමානුකූලව කරන්න තිබෙන්නේ. මේ ක්රියාදාමයේදී තමයි තරුණ තරුණියන් අවස්ථා ලබා ගත යුත්තේ.
ප්රශ්නය
මේ රටේ සංවර්ධනයට තරුණ පරම්පරාව දායක කර ගැනීමේ විශේෂ ප්රායෝගික සැලැස්මක් තිබෙනවද, අපි කැමතියි එය දැන ගන්න.
පිළිතුර
රටේ සංවර්ධනයට තරුණ පරපුරට ආරාධනා කරන තුරු ඇයි බලා සිටින්නේ. ඒ සඳහා ඕනෑතරම් අවස්ථා තිබෙනවා, ඔවුන්ට තිබෙන්නේ ආරාධනා කරන තුරු බලා නොසිට ඒ අවස්ථා ලබාගෙන රටේ සංවර්ධනයට දායකත්වය ලබාදීමයි.
ප්රශ්නය
අද ඔබතුමා මුහුණ දී තිබෙන ප්රශ්නවලට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් මුහුණ දුන්නා. ඔබතුමා එදා එතුමාගෙන් ලැබු ආභාෂය සමග ලංකාවේ ඉදිරි ගමන ගැන කොහොමද හිතන්නේ, එතුමාගේම අඩිපාරේ යමින් එම විදේශ ප්රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යනවද,
පිළිතුර
අභියෝගවලට මුහුණදිය යුතුයි. කිසිවෙකුට අභියෝගවලින් පැන යා නොහැකියි. මේ ශතවර්ෂයේ අපේ රටට තිබෙන විශාලම අභියෝගය වන්නේ, කෙසේද යුද්ධයෙන් පසු නවීකරණය සමග අප ඉදිරියට යා යුත්තේ යන්නයි. එදා අපි ඒකට සූදානම් වුණේ නැහැ. යුද්ධයෙන් පසුවත් අපි හිටියේ පරණ සිතුම් පැතුම් සමගමයි. ඒ ලෝකය දැන් සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙන්නේ. මොකද ණය බර සමග ඉදිරියට යා නොහැකියි.
අපි මේ ගැන අවබෝධයෙන් කටයුතු කළයුතුයි. අපි සිටියේ සිහින ලෝකයක. ඒ සිහින ලෝකයෙන් පිටතට පැමිණිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 බලයට පත්වී විවෘත ආර්ථිකය ආරම්භ කළා.
චීනය, ඉන්දියාව, වියට්නාමය යන රටවල අපිට වඩා පාලන ආර්ථිකයක් තිබුණා. එදා චීනය ඉන්දියාවටත් වඩා දුප්පත්. චීනය විවෘත ආර්ථිකය සමග ඉදිරියට ගියා. ඉන්දියාවත් දැන් ඒ සංවර්ධනය කරා ළගාවෙමින් සිටිනවා. වියට්නාමය යුද්ධයෙන් පසුව විනාශ වී ගිය රටක්. ඒත් ඒ අය අද දියුණු වෙලා තිබෙනවා.
2009 අපේ රටේ යුද්ධය අවසන් වුණා. අපි 2019 වසරේ ආණ්ඩුව කරනකොටත් මේ නවීකරණයට ජනතාව සූදානම් නැහැ. 2019 ලබාදුන් බදු ප්රතිපත්ති නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. දැන් එහි අයහපත් බලපෑම් භුක්ති විඳින්නේ මේ රටේ තරුණ පරපුර. සමහර තරුණ තරුණියන් අපට අනාගතයක් නැහැ කියලා රට අතහැර යනවා. තවත් පිරිසක් අනාගතය ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් රැදී සිටිනවා. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් වගේම අනිත් නායකයන්ගෙනුත් ඉගෙන ගැනිමට තිබෙන්නේ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ආහාර සුරක්ෂතාතාවය පිළිබඳ රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි වර්ෂය සඳහා කෘෂිකර්ම ප්රතිපත්තිය කුමක්ද කියා අපි දැනගන්න කැමතියි.
පිළිතුර
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අපි දැනටමත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා අවශ්ය පොහොර ලබාදීමේ වැඩසටහන ද ක්රියාත්මකයි. පොහොර ලබා ගැනිම සදහා අවශ්ය ඩොලර් දැන් අපිට ලැබී තිබෙනවා. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ අනෙක් රටවලින් එම මුදල් ලැබී තිබෙන නිසා අපිට දැන් පොහොර මිලදී ගැනීම සිදු කළ හැකියි.
මෙවර මහ කන්නයට අවශ්ය පොහොර දැනට රටේ තිබෙනවා. ඒවා බෙදාහැරීම ඉදිරියේ දී සිදු කෙරෙනවා. එහි අඩු පාඩුකම් තිබෙනවා නම් ඒ ප්රදේශ ගැන සොයා බලන්න කියා මම උපදෙස් දී තිබෙනවා.
කෘෂිකර්මාන්තය සඳහා අවශ්ය ඉන්ධන ලබාදීමට ද අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නොවැම්බර් 15 න් පසු දෙවන වටය සදහා අවශ්ය පොහොර ප්රමාණයත් රටට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.
ලබන වසරේ පළමු මාස තුන හතර තුළ සම්පූර්ණයෙන්ම ආහාර නිෂ්පාදනය ආරම්භ කිරීම අපේ සැලැස්මයි. වී නිෂ්පාදනය පිළිබඳ දැනට ගැටලුවක් නැහැ. නමුත් බඩඉරිඟු වගාව පුළුල් කළයුතුව තිබෙනවා.
ප්රශ්නය
මහ කන්නයේ ඇතිවිය හැකි ගැටලු සාකච්ඡා කරමින් අවශ්ය සහාය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම ප්රවර්ධන දෙසතියක් නම් කිරිමට හා කෘෂිකර්මය සඳහා තාරුණ්ය ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ක්රියාත්මක කළයුතු බව අපි යෝජනා කරන්න කැමතියි.
පිළිතුර
අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළයුතුව තිබෙනවා. ගොවිජන සේවා මධ්යස්ථාන තිබෙනවා, නිලධාරින් බොහෝ දෙනෙක් ග්රාමීය මට්ටමින් කටයුතු කරනවා, ඔවුන් සැලැස්මක් අනුව යෙදවීමට පියවර ගෙන නැහැ. මෙලෙස කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදි විශාල වැඩකොටසක් ක්රියාවට නැංවිය යුතුව තිබෙනවා.
ප්රශ්නය
රටේ බුද්ධිගලනය මේ වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනමය ලැබුණත් මානව සම්පත් රටට අහිමිවීම ගැටලුවක්. මෙම බුද්ධිගලනය අවම කර ගැනීමට ඔබතුමා ගන්නා ක්රියාමාර්ගය කුමක්ද යන්න අපි දැන ගන්න කැමතියි.
පිළිතුර
පසුගිය වසරේදී බුද්ධිගලනය වැඩි වශයෙන් ආරම්භ වුණා. ආර්ථික ගැටලු සමග මේ වසරේ එය සීග්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අනාගත අවිනිශ්චිතතාව පිළිබඳ ගැටලුව ඊට හේතුවී තිබෙනවා. ඒ ගැන කරුණ දෙකක් සඳහන් කිරීමට මම කැමතියි. මේ රටේ නිදහස් අධ්යාපනය ලබා හොඳ රැකියාවකට ගිය පසු රට අතහැර දැමීම සුදුසු ද යන්න පළමු කාරණයයි. රටේ මේ තත්වය ලබන වසරේ මැද භාගය පමණ වන තෙක් පවතිවි. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%කට අඩු වෙලා තිබෙනවා. අපි මෙය 14%ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. අතීතයේ බදු අය නොකිරීම තමයි ගැටලුව වී තිබෙන්නේ. දැන් මෙම නව බදු ක්රම සමග අප ඉදිරියට යා යුතුයි.
ප්රශ්නය
විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන සදහා අවධානය යොමු කරන බව ඔබතුමා ප්රකාශ කර තිබෙනවා, විදේශ ආයෝජන පිළිබඳ ඔබතුමා දැනට සිටින ස්ථාවරය කුමක්ද, ඒ සඳහා තරුණයන්ගේ දායකත්වය ලබා ගැනීමට තිබෙන යෝජනා මොනවද කියා අප දැනගන්න කැමතියි.
පිළිතුර
අද සියලු රටවල් දියුණුවී තිබෙන්නේ විදේශ ආයෝජන ලබාගෙනයි. ණය ලබා ගැනීම තුළින් නොවෙයි. චීනය දියුණු වුණේ විදේශ ආයෝජන නිසා. විදේශ ආයෝජන ලබා ගැනීමට ඉන්දියාව ප්රමාද වූ නිසා චීනය ඉන්දියාවට වඩා ඉදිරියට ගියා. වියට්නාමයත් විදේශ ආයෝජන සමග ඉදිරියට ගිය රටක්. විදේශ ආයෝජන නොමැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
විදේශ ආයෝජන නිසා නව ව්යාපාර අවස්ථා ඇති වෙනවා. නිෂ්පාදන ඉහළ යනවා. ඒ සමග තමයි අපිට ඉදිරියට යාමට හැකි වන්නේ.
යුද්ධයෙන් පස්සේ විදේශ ණය අරගෙන රට දියුණු කිරිමටයි අපි උත්සාහ කළේ. නමුත් එය කරගත නොහැකි වුණා. 2015දී ඊට විසඳුමක් සෙවීමට මට අවස්ථාව ලැබුණත් එය ඉදිරියට ක්රියාත්මක වුණේ නැහැ. ඒ නිසා තමයි අද අපිට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ.
විදේශ ආයෝජන සඳහා අවශ්ය පරිසරය අප සකස් කළ යුතුයි. ඒ සඳහායි අපි කටයුතු කරමින් සිටින්නේ. අපි සීමා පනවනවා නම්, තීරණ ලබා දීමට වසර දෙක තුනක් ගත කරනවා නම් අපේ රටට ආයෝජන ලැබෙන්නේ නැහැ. ඒ නිසා රට ඉදිරියට ගෙන යාම සඳහා අපි මෙම යාන්ත්රණය ඉදිරි මාස කිහිපය තුළ කණපිට හැරවිය යුතුයි.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, බොර තෙල් ගැටලුව සමග මේ වන විට අපි රුසියාව පැත්තට යොමු වෙලා තිබෙනවා, අපිට බොරතෙල් දීර්ඝ කාලීනව ලබා ගැනීම පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ණය යෝජනා ක්රමයක් සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද,
පිළිතුර
වැඩියෙන්ම බොර තෙල් ලබා ගන්නේ මැද පෙරදිග රටවලින්. එය වෙනස් නොවන දෙයක්. නමුත් අද මතුව තිබෙන අර්බුදය සමග රුසියාවත් යෝජනා කර තිබෙනවා ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳ. ඒ පිළිබඳ ගැටලු කිහිපයක් මතුව තිබෙනවා. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව යම් සීමා දාලා තිබෙනවා. එම කටයුතු නවත්වා නැහැ.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඉදිරි දිනවලදී යුරෝපා රටවල ශීත සෘතුව එළැඹෙනවා. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ටත් බොර තෙල් ගැටලුවක් උද්ගතවී තිබෙනවා. මේ තත්ත්වය සමග යුරෝපා රටවල සිටින පිරිස් පෙරදිග රටවල සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. මෙම පිරිස ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකාව යම් සංචාරක ප්රවර්ධන වැඩසටහනක් යෝජනා කර තිබෙනවද කියා දැන ගන්න කැමැතියි.
පිළිතුර
සංචාරක ප්රවර්ධනය සඳහා අපි මේ වසරේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එහි ප්රතිඵල ලබාගත හැකි වන්නේ ලබන වසර වන විටයි. කුමන රටවලට ද ගමන් කරන්නේ කියා යුරෝපය දැනටමත් තීරණය කර අවසන්. ලබන වසර වන විට අපට මේ ඉලක්ක සපුරාගත හැකි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, අරගලය තුළ විවිධ තරුණ කණ්ඩායම් සිටියා. සැඟවුන අරමුණු තිබූ කණ්ඩායම් සිටියා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් හදවතින්ම කැපවූ තරුණ පිරිසක් සිටියා. එම තරුණ පිරිසට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඔබතුමා කැමති නැද්ද,
පිළිතුර
එම ආරාධනය මම මීට පෙරත් සිදු කර තිබෙනවා. අපි ඕනෑම අවස්ථාවක එම කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට සූදානම්. ඒ වගේම අරගලය නිසා නොමග ගිය තරුණ පිරිස් සිටි නම් ඒ අය සමගත් සාකච්ඡා පැවැත්වීමට අපි සූදානම් බව කියන්න කැමතියි.
අරගලයට සම්බන්ධ වූ හොඳ පිරිසත්, අරගලය නිසා නොමග ගිය පිරිසත් සමග සාකච්ඡා කිරීමට අපි කැමැතියි. අරගලය මුවාවෙන් ප්රචණ්ඩකාරි ක්රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලට අවශ්ය නම් අවස්ථාව තිබෙනවා පාපොච්චාරණයක් සිදු කර අප සමග එක්වීමට. අප එය නවතා නොදැමිය යුතුයි. රටට කළේ හානියක් කියලා ඔවුන් අවබෝධකරගත යුතුයි.
රටේ ආර්ථිකය අසීරුවන විට විවිධ පියවර ගැනීම ඕනෑම රටක සිදුවන දෙයක්. එහෙත් ඊට මුවාවී ප්රචණ්ඩත්වය සිදු කරනවා නම් ඒ පිළිබඳ අපි අවධානය යොමු කළයුතුයි. ප්රචණ්ඩත්වයට යොමු වෙලා තමන් කළේ වැරදි කාර්යයක් කියලා අබෝධකරගත් පිරිසක් සිටිනම් ඒ අය සමගත් සාකච්ඡා කරන්න අපි කටයුතු කරනවා.
ප්රශ්නය
ජනාධිපතිතුමනි ඔබට ළගදි චිත්රපටියක් නැරඹීමට හෝ පොතක් කියවීමට අවස්ථාව ලැබුණද,
පිළිතුර
මගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.
October, 21, 2022
ශ්රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි.
මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්රියාවලිය වෙනුවට වඩා ක්රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද කීය.
මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුනේ 1994 වසරේ මම අගමැති ධූරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. හිටපු ජනාධිපති ආර්. ප්රේමදාස මහතා මිය යාමෙන් පසු සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.
ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙද මධ්යස්ථාන ව්යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැදී සිටින බව ප්රකාශ කළා. ඒ නිසා ශ්රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.
2003 වසරේදී නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු එස්.පී. ටාඕ මහත්මයා මට මුණ ගැසුණා. නව ව්යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා.
මේ ප්රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය මට හුරු පුරුදු තැනක් බවට පත්ව තිබුණා.
මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.
මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්රදේශය වගේම දේශපාලනය ආරම්භයේ පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා, අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.
මෙම ව්යාපෘතිය දියත් සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි, මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි.
විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සදහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්රමයක් පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.
නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන් සංකීර්ණ රාජ්ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්රධාන ගැටලුවක් බව කිවයුතුයි.
ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ.
1977දී මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මගින් ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බිගයම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.
හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්රණය කඩා වැටුණා.
සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන්ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා.
කටුනායක හා බියගම ආයෝජන කලාප දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කරන අතරම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්රීකුණාමලයට ව්යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. වෙනම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එකම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළයුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක බදු නිදහස ලබා දෙන්න අවශ්ය නැහැ.
ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින් ක්රියාශීලී කාර්යංශයක් හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ අවධානය යොමු කරනවා.
මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට හැකි වුණේ හොඳ යාන්ත්රණයක් තිබු නිසයි. ඒ නිසා අපි ආයෝජන සඳහා නව යාන්ත්රණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නීති වෙනස් විය හැකියි. එවිට රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකියි. නමුත් අපට වේගවත් ආර්ථක වර්ධනයක් අවශ්යයි. මොකද අපේ ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටී තිබෙනවා.
ශ්රී ලංකාව කියන්නේ පාපන්දුවක් නම් ඔබ පහර දෙන විට එය පහළට වැටෙනවා. ඒ වගේම ඉහළ යනවා. එයයි සිදු විය යුත්තේ. සමහර අය අපව අතහැර යනවා. අපට එය නැවැත්විය නොහැකියි. අපි නවකයින් පුහුණු කරමු. අපි අධ්යාපනය නව්යකරණය කරනවා. ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ කටයුතු කරන අතර තුර අධ්යාපනය නවීකරණයට කටයුතු කර තිබෙනවා.ඒ වගේම ආර්ථිකය නවීකරණය පිළිබඳවත්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත නවීකරණය පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා.
ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්රියාමාර්ග ගැනීමටත් අපට සිදු වේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්රී ලංකාව ආයෝජනයට මිත්ර රටක් බවට පත් කිරීම සඳහා. ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමග ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායම ද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණය ගැනීම් විෂම චක්රයෙන් ඉවත් විමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විදිය නොහැකියි. එම නිසා ආයෝජන ප්රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිදීමට අපි සැලසුම් සහගතව කටයුතු කරමු.
එස්. පී ටාඕ මහත්මයාට ශ්රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂි භාවයක් තිබුණා. ඔහු විවිධ අධ්යයනයන් සිදු කර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු.
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
October, 20, 2022
ශ්රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.
ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේය.
මෙම වගාව ප්රචලිත කිරීමට අවශ්ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, හිටපු රාජ්ය අමාත්ය චම්පිකා ප්රේමදාස සහ පී.ජේ. අසංක ලයනල් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
September, 29, 2022
ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos Jr.) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.
නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
පිලිපීනය සහ ශ්රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story