• Ada Derana BIZ Sinhala
  • economics
  • parliamentarians
  • Program
  • sri lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආර්ථික විද්‍යාව උගන්වන්න වැඩපිළිවෙලක්

December, 20, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් හට ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා දීම සඳහා "ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය" යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ පිළිබඳව අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.

“ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී සහ ක්‍රියාත්මක කිිරීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන්ට අවබෝධිත තීරණවලට එළඹීමට හැකි වන පරිදි ආර්ථික වීද්‍යාව සහ වෙළඳ කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීමට යෝග්‍ය බවත් ඒ සඳහා කෙටුම් පතක් සකස් කරන ලෙස නීතිපති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුනා.“

“ඔබ අපි කවුරුත් දන්නවා ලෝකයේ දියුණු රට වල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රට වල පාර්ලිමේන්තුව ඉතා විශාල වශයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා සෘජු ලෙස ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් වශයෙන් මැදිහත් වෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 වෙනි වගන්තියෙන් මහජනයාගේ මුදල් හැසිරවීම පිළිබඳ පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ අනුව රජයේ ආදායම් රැස් කිරීම, ආදායම් රැස් කීරීමේදී බදු පැනවීම, බදු නොවන ආදායම් මාර්ගවලින් ඒවා ලබා ගැනීම‍, සෘජු බදු, වක්‍ර බදු වල දායකත්වය, බදු ආපාතයන් දැරීම, ඒ බදු ප්‍රතිවිපාක යන්න පිළිබඳ ආර්ථික විද්‍යාත්මක අධ්‍යයනයන් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් කළමනාකරණයේදී පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, ඒ වියදම් වර්ග දැරීමත් අයවැය පරතරය 5% ට අඩු මට්ටමක පවත්වාගෙන යාමටත් ඒ ඇති වන අයවැය පරතරය පුළුල් වීමෙන් ඇති වන ණය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආපසු ගෙවීමේ අර්බුදය, ණය කළමනාකරණය ආදිය පිළිබඳ ගැටළු රාශියක් නිර්මාණය වනවා. මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නිසි ලෙස දැනුවත්කමකින් යුතුව කරේ නැත්නම්, උදාහරණයක් වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධූරය දරද්දි, අපි මුදල් අමාත්‍යාංශයේ වැඩ කරද්දි අපි ඉදිරිපත් කලා 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, fiscal management responsibility bill කියලා. එහි මූලික අරමුණු 3ක් තිබුණා. පාර්ලිමේන්තුව විසින් නීතිය සම්පාදන කළා.

01. 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක් විය යුතු අතර ඒ මට්ටමෙන් හෝ ඊට වඩා අඩුවෙන් දිගටම පවත්වාගෙන යා යුතුයි කියලා.

02. ඒ පනතේ නීතියක් ඇති කලා 2013 වන විට නොපිය වූ රාජ්‍ය ණය දළ දේෂිය නිෂ්පාදිතයෙන් 65%ක් විය යුතු බවත් ඊට පසු ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යායුතු බවත්.

03. රජය ණය සඳහා ඇප වීම 4.5% ක් නොඉක්මව විය යුතු බවත්.

අද ඒ සියල්ල විනාශ වෙලා තියනවා. පාර්ලිමේන්තුව තුළ මේ පනත තුන්වරක් සංශෝධනය කරලා අයවැය පරතරය දරුණු ලෙස ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත්වෙලා තියනවා. දළ දේශීය නිෂ්පාදිතයට වඩා රාජ්‍ය ණය බර වැඩි වෙලා තියනවා. ණය සඳහා ඇප වීමේ සීමාවන් වැඩි වෙලා ණය ආපසු ගෙවිය නොහැකි අර්බුදයකට පැමිණීම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මක ගැඹුරු අධ්‍යයනයක් නොතිබීම හේතුවක් බව රටට පිළිගන්න සිද්ධ වෙලා තියනවා. ඒ නිසා ජනාධිපතිතුමා යෝජනා කරනවා ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ටත් අවබෝධාත්මක තීරණවලට එළඹීම පහසු වීම සඳහා ආර්ථික විද්‍යාව සහ වෙළඳ ආයතනයක් පිහිටු වීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන යෝජනාවට අනුමැතිය ලැබුනා."

  • Ada Derana BIZ Sinhala
  • Budget Debate
  • Program
  • sri lanka

අයවැය සමයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන් තහනමක්

November, 1, 2022

අයවැය විවාදය සඳහා වූ වැඩසටහන - 2023

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවදානය පිණිස ඉදිරිපත් කරන ලද අතර, එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

  • අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම) : 2022-11-14
  • අයවැය දෙවන වර කියවීමේ විවාදය : 2022-11-15 දින සිට 2022-11-22 දින දක්වා (දින 07කි.)
  • අයවැය කාරක සභා අවස්ථා විවාදය : 2022-11-23 දින සිට 2022-12-08 දින දක්වා (දින 13කි)
  • ඡන්ද විමසීම : 2022-12-08

මේ අතර හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේනතුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දෙන ලදී.