• Ada Derana BIZ Sinhala
  • Digital Business
  • International Conference
  • SLIIT
  • sri lanka

SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව විශිෂ්ඨතා ඇගයීම් සම්මාන රැසක් ප්‍රධානය කරමින් උත්කර්ෂවත්ව පැවැත්විය

December, 5, 2022

ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business - ICSDB) පසුගිය දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ දී සාර්ථකව පවත්වනු ලැබීය. මෙහිදී සුවිශේෂී දක්ෂතාවයන් දැක්වූ පර්යේෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයින් සඳහා ICSDB විශිෂ්ඨතා සම්මාන රැසක්ද ප්‍රධානය කරනු ලැබිණි.

'Towards digital sustainability' යන තේමාව යටතේ දෙදිනක් පුරා පැවති මෙම සමුළුවෙහි සමාරම්භක සම්මන්ත්‍රණය හරහා ලොව පුරා සිටින පර්යේෂකයන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ සොයාගැනීම්, භාවිතයන්, සහ අභියෝග පිළිබඳව මත අදහස් සහභාගී වූ ප්‍රේක්ෂක පිරිස සමඟ හුවමාරු කර ගැනීමට ද හැකි විය.

මෙම සමුළුව මෙහෙයවනු ලැබූ ප්‍රධාන කථික මණ්ඩලය, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ (Exeter University) මහාචාර්ය ජෝන් බෙසන්ට්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය ජයිදීප් ප්‍රභූ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හි මහාචාර්ය මුතූ ද සිල්වා යන කීර්තිමත් විද්වතුන් පිරිසකගෙන් සමන්විත විය. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සහ මාලඹේ පිහිටි SLIIT ආයතන ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්විය.

මෙම සමුළුව විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ සහ පුහුණු කළමනාකරුවන්ගේ මෙන්ම මෙරටේ හා විදේශ පර්යේෂකයන්ගේ ද සුවිශේෂී ආකර්ෂණයට ලක් වූ අතර එහිදී ඔවුන් තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර යන තේමාව යටතේ විෂය ක්ෂේත්‍ර රැසක ඔවුන්ගේ දැනුම, සාර්ථක ජයග්‍රහණ සහ පර්යේෂණවල ප්‍රතිඵල හුවමාරු කර ගනු ලැබීය.

සම්මන්ත්‍රණය පිළිබඳව සිය අදහස් පල කරමින් SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා සඳහන් කළේ ඉදිරි වසරවලදී ICSDB සමුළුව, ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රවණතාවයන් වර්ධනය සඳහා නායකත්වයක් ලබා දෙන සහ බලාපොරොත්තු ඇති කරවන සමුළුවක් බවට පත්වන බවය. මෙහි සෑම අංශයකම පැවති ගුණාත්මක බව අතින් බැලූ විට එය වෙනස් වූ නව මානයක් සහිත අමතක නොවන සම්මන්ත්‍රණයක් වූ බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

2022 ICSDB විශිෂ්ඨතා සම්මාන ප්‍රධානය දෙසැම්බර් මස 01 දා පැවති අතර එහිදී දක්ෂතාවය (Ingenuity), අඛණ්ඩතාව (Continuity), විෂය ක්ෂේත්‍රය (Scope), යෙදවීම සහ ප්‍රතිලාභ (Deployment and Benefits) යන ICSDB දර්ශකයෙහි පවතින  නිර්ණායකයන් යටතේ ඩිජිටල් ව්‍යාපාර ආරම්භ කර එය විවිධ පාර්ශවකරුවන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලාංකේය ව්‍යවසායන් රන්, රිදී සහ ලෝකඩ යන කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කෙරිණි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ කළමනාකරුවන්,  නියෝජිතයින් සහ විද්වතුන් ඇතුළු ප්‍රවීන විනිශ්ච මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා පත්කර ගන්නා ලදි. මෙම සමුළුවෙහි දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත දේශනය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්  පවත්වනු ලැබීය.

ICSDB සමුළුව සඳහා සහය දක්වමින් සම්පත් බැංකුව ප්‍රධාන අනුග්‍රාහක හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලැබූ අතර  Enadoc ඩිජිටල් නවෝත්පාදන සහකරු ලෙසත්, CodeGen International, Siam City Cement යන ආයතන රන් කාණ්ඩය යටතේ  අනුග්‍රාහක භවතුන් වශයෙන් සහ CIMA Sri Lanka සහ Unitech Labs යන ආයතන රිදී කාණ්ඩයේ අනුග්‍රාහක භවතුන් ලෙසත් කටයුතු කරනු ලැබීය. Emerald ප්‍රකාශන ශාස්ත්‍රීය සහකරු ලෙස කටයුතු කළේය.

1999 වසරේ දී ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර එම ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් මේ වන විට වැඩිම ශිෂ්‍ය පිරිසක් සිටින විශ්වවිද්‍යාලය වීම ද විශේෂත්වයකි. එම ශිෂ්‍ය ප්‍රජාව සඳහා SLIIT විසින් පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, නීතිය, ආගන්තුක සත්කාර වැනි විෂයයන් රැසක උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. ඉහළ මට්ටමේ ශ්‍රේණිගත සඟරාවල පළවන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ පවත්වාගෙන යන සබඳතාවයන් සහ ගුණාත්මක උපාධිධාරීන්ගේ සාර්ථකත්වයන් තුළින් කලාපීය වශයෙන් අත්කර ගනු ලබන කීර්තිය මෙන්ම දැනුමක් සහිත විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට SLIIT දරන උත්සාහය මීට ප්‍රබලව සාක්ෂි සපයනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • SLIIT’s Got Talent 2022
  • sri lanka

‘SLIIT’s Got Talent 2022’  සිසුන්ගේ විශිෂ්ඨ වූ කලා කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක් ගෙන දෙයි

November, 2, 2022

SLIIT හි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව (FESC) විසින් දෙවසරකට පසුව සංවිධානය කරනු ලැබූ ‘SLIIT's Got Talent 2022’ ප්‍රාසාංගික කුසලතා ප්‍රදර්ශනය කාගේත් සුවිශේෂී අවධානයට ලක් වෙමින්, සිසුන්ගේ කලාත්මක හැකියාවන් සහ විශිෂ්ඨ වූ රංගන කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් අයුරින් පසුගියදා පැවැත්විය.

8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී  'Let’s Make it Happen' යන තේමාව යටතේ පැවැත්විණි. SLIIT හි සියලුම පීඨ නියෝජනය කරමින් තරඟ වැදුණු සහජ දක්ෂතාවයන් ඇති උපාධි අපේක්ෂකයින්, අපූරු නර්තන ශිල්පීන්ගෙන් සහ ගායක ගායිකාවන්ගෙන් සැදුම්ලත් අලංකාර වූ සංගීතමය සුසංයෝගයක් නිර්මාණය කළේය. ඔවුන් SLIIT වාද්‍ය වෘන්දය වන 'Elements' සමඟින් එක්ව මෙම උත්කර්ෂවත් අවස්ථාව සුවිශේෂී වූ නොමැකෙන මතකයන්ගෙන් පිරී ගිය මොහොතක් බවට පත් කළ අතර 1,600 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීම සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

ගායන අංශයේ තරඟ සඳහා 250 දෙනෙකු සහ තූර්ය වාදක අංශයේ තරඟ සඳහා කණ්ඩායම් 14 ක් ලියාපදිංචි වූ අතර තෝරා ගැනීම්වලින් අනතුරුව අවසාන තරඟය සඳහා ගායන අංශයෙන් ගායකයින් 12 දෙනෙකු සහ නර්තන අංශයෙන් කණ්ඩායම් 6 ඉදිරිපත් විය.

ගායන අංශයේ දක්ෂතම ගායක ගායිකාවන් සඳහා ජයග්‍රාහී කිරුලු ප්‍රධානය කරනු ලැබූ අතර, ගායන අංශයේ ප්‍රථම ස්ථානය මදාරා පෙරේරා විසින් හිමි කර ගනු ලැබුවාය. එම අංශයේ දෙවන ස්ථානය විහාන් උඩවෙල විසින් දිනා ගත් අතර තුෂාන් විජයකෝන් තෙවන ස්ථානය හිමි කර ගත්තේය. ජනප්‍රියම ගායක අංශයේ ප්‍රථම ස්ථානය කසුන් වේරගොඩ විසින් හිමිකර ගනු ලැබීය. නර්තන අංශයේ ප්‍රථම ස්ථානය Six Counts නර්තන කණ්ඩායම දිනා ගත් අතර දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින්  Matra සහ The Dazzlers යන නර්තන කණ්ඩායම් විසින් හිමි කරගනු ලැබිණි. වඩාත් ජනප්‍රියතම සංගීත කණ්ඩායම බවට  තේරී පත් වූයේ Six Counts සංගීත කණ්ඩායමය.

SLIIT's Got talent සමාරම්භක උත්සවය 2013 වසරේ දී  SLIIT ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එය සිසුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඉංජිනේරු පීඨය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පැවති සරල උත්සව අවස්ථාවක් ලෙස පැවැත්විණි. එය වසර ගණනාවක් පුරා, ප්‍රමාණයෙන් විශාල උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් ලෙස වර්ධනය වෙමින් වර්තමානයෙදී SLIIT තුළ සහ දේශීය විශ්ව විද්‍යාල අතර ද ප්‍රමුඛ පෙළේ උත්සවයක් ලෙස ද පිළිගැනීමට ලක්ව තිබේ. මේ වන විට මෙය කොළඹ BMICH සහ නෙළුම් පොකුණ වැනි විශාල වේදිකා සහිත ස්ථානවල සංවිධානය කරනු ලැබීම විශේෂත්වයකි.

ප්‍රබල සන්නාමයක් අත්පත් කරගෙන ඇති  SLIIT's Got Talent අවසන් වරට පවත්වනු ලැබුවේ 2019 වසරේදීය. පැවති වසංගත උවදුර සහ ආර්ථික අභියෝග හමුවේ මෙම උත්සවය 2020 සහ 2021 වසර වලදී නොපැවැත්විණි. වසර දෙකකට පසුව මෙවර පවත්වනු ලැබූ SLIIT's Got Talent උත්සවය අති සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කිරීම සඳහා සංවිධායක මණ්ඩලයේ සිසුන් 120 කට වැඩි පිරිසක් සිය දායකත්වය ලබා දුන් අතර, Faulty of Engineering Media Club සහ ස්වේච්ඡාවෙන් දායකත්වයන් ලබා දුන් සිසුන් හා සේවකයන්, Faulty of Engineering Student Community (FESC) සාමාජිකයන්ගේ සහාය ද  හිමි විය. තවද, SLIIT ආයතනයේ මූල්‍ය ආධාර ඇතුළු අනුග්‍රාහකයින් රැසක් මෙම උත්සවයේ සාර්ථකත්වයට දායක විය.

තරඟකරුවන්ගේ සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවයන් විනිශ්චය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් ප්‍රවීන වූ පුද්ගලයින්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් මේ සඳහා ඉදිරිපත් කර තිබිණි. ගායන අංශයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම පාලින්ද උඩවෙල ආරච්චි, ලහිරු ද කොස්තා සහ තනුර මධුගීත් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සිදු වූ අතර නර්තනය අංශයේ තෝරා ගැනීම් බාස්කර් ප්‍රකාශ්, සංචනා මාවෙල සහ සාරා අබේවර්ධන යන මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.

ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''SLIIT Got Talent’ සිසුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවක් වීම සම්බන්ධයෙන් අප අතිශයින් ආඩම්බර වෙනවා. මෙවැනි අවස්ථාවන් තුළින් සුහදත්වයන් වර්ධනය කරන අතර උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපන කටයුතු හැඩගස්වා ගැනීමට උපකාරී වන අත්දැකීම් ද සමඟින් නොමැකෙන මතකයක් සහිත කණ්ඩායම් හැඟීමක් ඇතිකර දෙනවා. SLIIT Got Talents තුළින් වාර්ෂිකව කලා ක්ෂේත්‍රයට සාර්ථක වෘත්තිකයන් ලෙස ප්‍රවිෂ්ඨ වන කලාකරුවන් ද සිටිනවා. මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ සැමට අප ස්තූතිවන්ත වන අතර ඉදිරියේදීත් SLIIT's Got talent වැනි සිසුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව සහාය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.''

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ප්‍රජාවේ සභාපති අබ්දුල් මලික් මෙසේ පැවසීය. '' SLIIT’s Got Talent 2022 තරඟය හරහා අපගේ ශිෂ්‍ය ප්‍රජාව සතුව පවතින සුවිශේෂී කුසලතා එළිදැක්වීමට හැකියාව ලැබී තිබෙනවා.වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන මේ වන විට වර්ධනය වී ඇති අතර දැන් එය ප්‍රධාන උත්සවයක් ලෙස පිළිගෙන තිබෙනවා. සමහර විට රටේ සියලුම විශ්ව විද්‍යාල අතරින් සිසුන් විසින් සංවිධානය කරනු ලබන විශාලතම දක්ෂතා එළිදැක්වීමේ උත්සවය මෙය විය හැකිය. අභියෝගාත්මක වටපිටාවක් හමුවේ මෙවර උත්සවයට සහය දැක්වීමට සහ අපගේ සිසුන්ට අමතක නොවන විචිත්‍රවත් අවස්ථාවක් නිර්මාණය කර දීමට දායක වූ SLIIT හි අපගේ කමිටුවට, කාර්ය මණ්ඩලයට, අනුග්‍රාහකයන්ට සහ සැමට මම ස්තුතිවන්ත වෙනවා.''

  • Ada Derana BIZ Sinhala
  • ROBOFEST 2022
  • SLIIT
  • sri lanka

SLIIT හි ROBOFEST 2022 තරඟාවලිය තුළින් අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් පුබුදුවාලයි

October, 24, 2022

SLIIT ආයතනයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ROBOFEST 2022’ තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. රොබෝ විද්‍යාව තුළින් ඉදිරියට ගිය අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ දක්ෂතාවයන් පුබුදුවාලමින් හා සහභාගීවූවන්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු මෙම තරඟාවලිය පුරාවට කණ්ඩායම් අතර තියුණු තරඟකාරී මුහුණුවරක් ගෙන තිබීම විශේෂත්වයක් විය.

මාලඹේ SLIIT විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවසන් මහා තරඟය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර, එම කණ්ඩායම් විසින් ක්‍රීඩා උපක්‍රම, සැලසුම් සහ දක්ෂතාවයන් එළිදැක්වීම සිදු කෙරිණි.

SLIIT ROBOFEST තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම රොබෝ තරඟය ලෙස සැලකේ. මෙම වසරේ තරඟයේදී තරුණයින්ට ඔවුන්ගේ AI සහ තාක්‍ෂණ කුසලතා ඉගෙන ගැනීමට, ප්‍රදර්ශනය කිරීමට සහ පුහුණු වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දෙන ලදි.

පාසල් කාණ්ඩයේ තරඟ, මට්ටම් දෙකක් යටතේ පැවැත්වූ අතර මේ සඳහා 100 කට වැඩි පිරිසක් ලියාපදිංචි විය. සරල රොබෝවක් නිර්මාණය කර වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සහභාගීවන්නන් හට උපදෙස් මාලාවක් ඇතුළත් තාක්ෂණික ලේඛනයක් සංවිධායකයින් විසින් සපයා දීමට පියවර ගත්තේය. මෙහිදී තෝරා ගැනීම් සියල්ලෙන් අනතුරුව අවසාන තරඟය සඳහා සහභාගීවන්නන් 38 දෙනෙකු තෝරා ගනු ලැබීය.

පාසල් අංශයේ ප්‍රථම ස්ථානය නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 'Trojan 22' රොබෝ නිර්මාණය විසින් ජයග්‍රහණය කරනු ලැබීය. දෙවැනි ස්ථානය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ 'Line Follower Bot' සඳහා ද තෙවැනි ස්ථානය අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ 'Sinon' රොබෝ නිර්මාණය විසින් ද හිමිකර ගනු ලැබිණි. කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ 'Ralphy Boy' රොබෝ නිර්මාණයට සහ D.S සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකක ‘Ultra’ සහ ‘CYBERNOTS DSS’ යන රොබෝ නිර්මාණ සඳහා සැනසිලි ත්‍යාග හිමි විය.

මූලික ත්‍යාග සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා රොබෝ විද්‍යා ආයතනය (SLIR) විසින් පිරිනමන ලදි. සැනසිලි ත්‍යාග සඳහා අනුග්‍රහය Magicbit ආයතනය විසින් ලබා දුන් අතර තාක්ෂණික සහාය සපයා දෙනු ලැබුවේ MEU Labs ආයතනය විසිනි.

විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ පැවති තරඟය සැප්තැම්බර් මස 25 දා සිට 26 දක්වා පැවැත්විය. මෙවර තරඟාවලියේ ජයග්‍රාහකයකු නොමැතිව විශ්වවිද්‍යාල අංශය අවසන් වුවද එම කාණ්ඩයේ ත්‍යාගය ඊළඟ වසරේ තරඟයට රැගෙන යනු ඇත. මෙහි ත්‍යාග සඳහා Zone 24/7 ප්‍රධාන අනුග්‍රාහකයා වූ අතර, එම කාණ්ඩය යටතේ පිරිනමන ලද සැනසිලි ත්‍යාගය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 'Team C' විසින් දිනා ගනු ලැබීය.

මේ සඳහා Orange සහ ACCELR යන ආයතන ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුනි. SLIIT හි ඉංජිනේරු පීඨය, මාධ්‍ය ඒකකය (Media Unit) සහ Institute of Electrical and Electronics Engineers හි (IEEE) සිසුන් විසින් මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ලදි.

අවසන් මහා තරඟයට පෙර, SLIIT විසින් ROBOFEST 2022 සඳහා සහභාගී වීමට කැමති සිසුන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා තොරතුරු සම්මන්ත්‍රණ කිහිපයක් සහ අන්තර්ජාලය හරහා වැඩමුළුවක් ද පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණ සිසුන්ගේ උනන්දුව උද්දීපනය කළ අතර, රට තුළ රොබෝ තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කරවමින්, මෙය ශක්තිමත් AI සහ රොබෝ විද්‍යා ප්‍රජාවක් සංවර්ධනය කිරීම සඳහා විශිෂ්ඨ සහාය වැඩසටහනක් බවට පත් විය.

මෙම සම්මන්ත්‍රණ මගින් නව තාක්‍ෂණ ක්‍රම පිළිබඳව ද තොරතුරු සපයන ලද අතර, එය තරඟය ආරම්භයට පෙර සහභාගීවන්නන්ගේ උනන්දුව ඇති කළේය. මේ සඳහා වූ සම්මන්ත්‍රණ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේදී සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා රොබෝ විද්‍යා ආයතනය නියෝජනය කරමින් රොෂාන් ප්‍රේමරත්න මහතා අන්තර්ජාල වැඩමුළුව මෙහෙයවන ලදි. ගැටළු සඳහා පිළිතුරු ලබා දීම ඇතුළුව සහභාගීවන්නන්ගේ අවශ්‍යතා සඳහා සහාය සහ තොරතුරු සැපයීමට සංවිධායකයින් සමාජ මාධ්‍ය භාවිතා කළහ.

තරඟය පිළිබඳව අදහස් දක්වමින් ROBOFEST 2022 සම්බන්ධීකාරක, ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චිගේ දොන් මෙසේ පැවසීය. ''මේ තරඟය සඳහා සහභාගී වූ සියලුම දෙනා අතිවිශාල නිර්මාණශීලිත්වයක් පෙන්නුම් කළා. ඔවුන් ඉගෙනීමට සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අනාගතයේ රැකියාවක් කිරීමට අවශ්‍ය කුසලතා ඔවුන්ගේ කැපවීම තුළින් ප්‍රදර්ශනය කරනු ලැබුවා. ROBOFEST 2022 තරඟයේ සුවිශේෂී ජයග්‍රාහකයින් මෙන්ම ඔවුන්ට හොඳ තරඟයක් ලබා දුන් සියලුම දක්ෂ තරඟකරුවන් ගැන අපි ආඩම්බර වෙනවා. SLIIT ආයතනයේ ශිෂ්‍ය සංවිධායකයින්, අනුග්‍රාහකයින්, උපදේශකයින් සහ ස්වේච්ඡා සේවකයන්ගේ නොමඳ සහයෝගය නිසා මෙම තරඟය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණා.''

SLIIT හි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය සහ අංශ ප්‍රධානී ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''අපට අපේ සමාජයට නවෝත්පාදකයින් අවශ්‍යයි. ROBOFEST 2022 හරහා අනාගතයේ ගැටළු විසඳීම හා සම්බන්ධයෙන් නායකයින්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරනවා. රොබෝ විද්‍යා ප්‍රජාවේ කණ්ඩායම් සහ සිසුන්ගේ කැපවීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඔවුන්ට රොබෝ විද්‍යාව තුළ උද්යෝගය මෙන්ම ප්‍රබෝධය ද අත්විඳීමට හැකියාව ලැබෙනවා. මෙම තරඟය මගින් ඔවුන්ව සංවර්ධනය කිරීමටත්, දක්ෂතාවයන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වී තිබෙනවා.''

 

 

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • sri lanaka

SLIIT උපාධි අපේක්ෂකයින්ට ශක්තිමත් විශේෂඥ පදනමක් තුළින්, H-දර්ශකයේ 360+ සහ Q1 ප්‍රකාශනයේ ජයග්‍රහණය සඳහා මග පෙන්වයි

August, 29, 2022

අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන අයගේ සහයෝගීතාවය ඇතිව මත්පැන් පරිභෝජනය සහ ගෝලීය රෝගාබාද පිළිබඳ ගෝලීයවශයෙන් හා මහාද්වීප වශයෙන් අධ්‍යයනයක් කර තිබේ. මේ සම්බන්ධයෙන් සිසුන් සමඟ කළ සාකච්ජාවේදී, ඔවුන් සිය පර්යේෂණ ගමන් මග සහ ප්‍රකාශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබීය.

නිශ්චිත ප්‍රදේශය හා අදාළ මාතෘකාව තෝරා ගැනීමට හේතුව කුමක්ද?

''අපගේ පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ Scimago H-දර්ශක පත්‍රිකා අපට හමුවුණා, නමුත් මහාද්වීප වශයෙන් ඒ ගැන කිසිම පර්යේෂණයක් සිදු කර නැහැ. අපගේ මාතෘකාවට අදාළ ගැඹුරු පර්යේෂණ අධ්‍යයනයක් නොතිබූ නිසා මත්පැන් පානයට අදාළ ප්‍රභේද ලෙස වයින්, බියර්, ස්ප්‍රීතු සහ වෙනත් මධ්‍යසාර පාන වර්ග ඇති බව ද අපි සඳහන් කළා.

ඒ අනුව, මහාද්වීප මිල සඳහා එක් එක් මත් පැන් පරිභෝජන ආශ්‍රිත රෝගාබාද සඳහා අපගේ පර්යේෂණ අධ්‍යයනය සිදු කිරීමට අප තීරණය කළා. මෙම සියලු වෙනස්වීම් එකට යොදාගෙන මේ දක්වා කිසිම පර්යේෂණ අධ්‍යයන කටයුත්තක් සිදු කර නොමැති නිසා අපි අපගේ සමාජ-ජනවිකාස පරිසරය, මානව සංවර්ධන දර්ශකය සහ ආදායම වැනි ස්වාධීන වෙනස්වීම් ද සලකා බැලුවා.''

පර්යේෂණ කටයුතු කොපමණ කලක් සිදු කළාද?

පර්යේෂණය අවසන් වසරේ පළමු අධ්‍යයන වාරය තුළදී, එනම් පෙබරවාරි මාසයේ සිට ජූනි මස දක්වා වූ මාස හයකට ආසන්න කාලයක් තුළ අවසන් කරනු ලැබුවා. සම්පූර්ණ පැවරුම සඳහා මාස 12 ක කාලයක් ගත වූ නමුත් මාස හයක කාලයක් තුළ පර්යේෂණ කොට අවසන් කිරීම අප ලැබූ ජයග්‍රහණයක්.

උපාධිය ලබා ගැනීමටත් පෙර මෙලෙස කැපී පෙනෙන ජයක් හිමිකර ගත්තේ කෙසේද?

හොඳ තත්ත්වයේ ප්‍රකාශනයක් සමඟ මාස හයක් වැනි කාලයක් තුළදී පර්යේෂණ කටයුතු අවසන් කිරීම පහසු දෙයක් නොවේ. කෙසේ නමුත් එවැනි විශාල ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමට අපට මඟපෙන්වමින් සහ දැනුම ලබා දෙමින් අපට සහාය ලබා දීමට තව බොහෝ දෙනෙක් සිටියා.

ඔවුන් අතරින් අපව අධීක්ෂණය කරනු ලැබූවේ SLIIT ව්‍යාපාරික පාසලෙහි සහකාර මහාචාර්ය, මහාචාර්ය රුවන් ජයතිලක, මහතාය. මුල සිටම අපේ අධීක්‍ෂකවරයා ලෙස මහාචාර්ය රුවන් ජයතිලක මහතා තෝරා ගැනීමට අප විශේෂ උනන්දුවකින් කටයුතු කළේ ඔහුගේ පර්යේෂණවලට ඇති කීර්තිය සහ ඔහු සතුව තිබෙන නවීනත්වයෙන් යුතු චින්තනය නිසාය. පියවරෙන් පියවර පර්යේෂණයේ කාලය පුරාවටම ඔහු අපට ලබා දුන් දිරිගැන්වීම සුවිශේෂයි.

ඔහු පසුගිය අධ්‍යයන කටයුතු සඳහා උදාහරණ සපයනු ලැබුවා. ආදි සිසුන්ගේ අතීත ජයග්‍රහණ පිළිබඳව ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් හුවමාරු කර ගත්තා. ඊට අමතරව, ඔහුගේ දේශන ඉතා සිත්ගන්නාසුළු හා උද්යෝගිමත් වූ අතර, ඒ තුළින් අපිව තවත් දිරිමත් වුණා.

අපි හතර දෙනා විවිධ දිස්ත්‍රික්කයන් හි විවිධ වූ ප්‍රදේශවලින් පැමිණි අය. මේ නිසා ගුණාත්මක වූ සඟරා ප්‍රකාශනයක් සමඟ මාස හයකින් පර්යේෂණ කටයුතු අවසන් කිරීම ඉතා අපහසු කටයුත්තක් වූවා. භෞතික වශයෙන් සන්නිවේදනය කිරීමට සහ  රැස්වීම් පැවැත්වීමට බාධා ඇති වුණා. ඒ කොහොම නමුත් අපගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් පර්යේෂණය සම්පූර්ණ කිරීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා. තම කාලය කැප කරමින් කණ්ඩායම මෙම ජයග්‍රහණය සඳහා දායක වූ පර්යේෂණ වෙනුවෙන් සිය ප්‍රමුඛතාවය ලබා දුන්නා.

ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ පීඩා විඳිමින් තමයි අප පර්යේෂණ කටයුතු සිදු කළේ. අපගේ දෙමව්පියන් ඒ සඳහා අපට ශක්තියක් වෙමින් එම අභියෝග ජය ගැනීමට සහාය ලබා දීම ගැන අප සඳහන් කළ යුතුයි.

ඔබලාගේ පර්යේෂණය වෙනුවෙන් SLIIT ඔබට සහාය වුයේ කෙසේද?

SLIIT හි මාර්ගගත සහ මාර්ගගත නොවූ අධ්‍යයන කටයුතු හා එහි සම්පත් මෙම ඉලක්කය සපුරා ගැනීමට අපට උපකාර වුණා. අපගේ කණ්ඩායමේ සමහර සාමාජිකයන් ආයතනවල සේවය කරන නිසා, අපට සහාය වීමට ආයතනික වශයෙන්  කණ්ඩායමක් සිටීම ඉතා වැදගත් විය. SLIIT ව්‍යාපාරික පාසලෙහි කථිකාචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය අපට සහාය වූවා. මෙම ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ මගපෙන්වීම සහ සහය ලබා දීම පිළිබඳව ද අපගේ ස්තුතිය ඔවුන් වෙත පුදකර සිටිනවා.

මෙම පර්යේෂණය කිරීමට අවස්ථාව ලබාදුන් SLIIT ආයතනයේ කුලපතිවරයා, උපකුලපති සහ නියෝජ්‍ය උපකුලපතිවරයා මෙන්ම SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතාටද අපගේ ස්තුතිය පුදකර සිටිනවා.

පර්යේෂණය ප්‍රකාශනය කිරීම සඳහා පිළිගෙන තිබේද?

ඔව්, අපගේ පර්යේෂණය SJR හි Q1 කාණ්ඩය සමඟ H-දර්ශකයේ 367 සඟරාවක් විසින් පිළිගෙන තිබෙනවා. සඟරාව PLOS ONE, Scopus හි ඉහළම ශ්‍රේණි දහය අතරට පැමිණ ඇති අතර දැනට පර්යේෂණ පත්‍රිකා සඳහා 10%කට වඩා අඩු පිළිගැනීමේ අනුපාතයක් පවත්වාගෙන යනවා.

පර්යේෂණ ක්‍රියාවලිය ගැන සඳහන් කළ හැකිද?

මුළින්ම අපට හොඳ පර්යේෂණ ගැටළුවක් සොයා ගැනීමට උවමනා වුණා. අවශ්‍ය සියලුම මගපෙන්වීම් සහ පියවරයන් අපගේ අධීක්ෂක විසින් ලබා දුන්නා. හොඳ පර්යේෂණ මාතෘකාවක් තෝරා ගත් පසුව අදාළ යෝජනාව සම්පූර්ණ කළා. අදාළ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිහරණය කිරීම, දත්ත එකතු කිරීම, හා විශ්ලේෂණය කර ප්‍රතිඵල ලියා පසුව අපගේ පර්යේෂණ ලිපිය අවසන් කළා.

ඔබලාගේ ඉදිරි සැලසුම් මොනවාද?

අපගේ ශාස්ත්‍රීය නිබන්ධයේ ඉතිරි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපි තවත් ලිපි ලිවීමට සැලසුම් කරනවා. තවත් නවීන වෙනස්කම් සමඟින් අධ්‍යයන ක්ෂේත්‍රය තවදුරටත් පර්යේෂණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස හතර තුළ ප්‍රධාන ඉලක්කය බවට පත්වී තිබෙන්නේ අපගේ උපාධිය ලබා ගැනීමට ප්‍රථමව පත්‍රිකාවේ අරමුණු සම්පූර්ණ කිරීමයි. මෙම සඟරා පත්‍රිකාව අපගේ වෘත්තීය ගමන් මගට විශාල සහයෝගයක් සහ මග පෙන්වීමක් මෙන්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා දායක වනු ඇත.

SLIIT ව්‍යාපාරික පාසලෙහි සහකාර මහාචාර්ය, මහාචාර්ය රුවන් ජයතිලක මෙම පත්‍රිකාවේ අධීක්ෂකවරයා ලෙස H-දර්ශක ශ්‍රේණිගත කිරීම් වල වැදගත්කම සහ සිසුන්ගේ ජයග්‍රහණ පිළිබඳව කළ සාකච්ජාවේදී දැක්වූ අදහස් මෙසේය.

ඔබ දකින ආකාරයට H-දර්ශක ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය ලබා ගැනීම සිසුන්ට කෙතරම් වැදගත් ද?

ප්‍රකාශනය, ශාස්ත්‍රීය කුසලතා ඉදිරිපත් කිරීමට විද්වතුන් භාවිතා කරන පොදු ක්‍රමයක්. පර්යේෂණවල ගුණාත්මක ප්‍රකාශනය  විද්වතුන් සහ ඔවුන්ගේ ආයතන කෙරෙහි අවධානය යොමු කරනවා. මේ මගින් ආයතනය සඳහා වැඩි අරමුදල් ලබා ගත හැකි අතර පුද්ගලයෙකුගේ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහතික කරනු ලැබේ. ප්‍රකාශනයක ඉහළH -දර්ශකයක් මඟින් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඔබේ කාර්යයේ වැදගත්කම, දෘශ්‍යතාව සහ සැබෑ ව්‍යාප්තිය පෙන්නුම් කරයි. මුල් ප්‍රකාශන විද්‍යාත්මක හා ශාස්ත්‍රීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවයක් ලබා දෙන අතර අනාගත විද්වතුන්ට පර්යේෂණ සංවර්ධනය කිරීමට සහ ශක්තිමත් පර්යේෂණ නිමැවුම් නිපදවීමට ඇති හැකියාව සංඥා කරයි. රැකියා අවස්ථා හැරුණු විට, විද්වතුන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ප්‍රකාශන සබඳතාව, පර්යේෂණ ප්‍රදාන සහ වෘත්තීය සාර්ථකත්වය යන දෙකටම සම්බන්ධ වේ. සිසුන්ගේ මුල් අධ්‍යයන ඉහළ H-දර්ශක ප්‍රකාශන තිබීම, සංඥා ලෙස ක්‍රියා කළ හැකි අතර, පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කාර්යයට වටිනාකමක් එක් කරයි. ඒ අනුව අධ්‍යාපනය තුළ හෝ ඉන් පිටත තනතුරු සෙවීමේදී ඔවුන්ගේ දෘශ්‍යතාව වැඩි කරයි. මෙය ඔවුන්ගේ රැකියා නියුක්තිය කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කරවන අතරම, එමඟින් ඔවුන්ට සහ ඔවුන් අධ්‍යයන කටයුතු සංවර්ධනය කරනු ලැබූ විශ්ව විද්‍යාලයට ප්‍රතිලාභ ගෙන එයි. තවද, පර්යේෂණ ආශ්‍රයෙන් ශිෂ්‍යත්ව හෝ රැකියා සඳහා, ඔබට යම් පළපුරුද්දක් ඇති බවටත්, එසේම එම ක්‍රියාවන් ඔබට අපහසු නොවන බවට ඇඟවීම සඳහා ගුණාත්මක පත්‍රිකා කිහිපයක් ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය වේ. එම කරුණුවලට අදාළව අනාගතයේදී එය ඔබට තවත් සම්මාන ගෙන දෙයි.

මෙම ජයග්‍රහණය සඳහා ඔබ සිසුන්හට මග පෙන්වූයේ කෙසේද?

මෙය ශිෂ්‍යයාගේ කාර්යය සඳහා පැහැදිලි මඟ පෙන්වීමක් සහිත දීර්ගව කරනු ලබන උපදේශන ක්‍රියාවලියක්. පළමුව, මෙයට දිරිගැන්වීම, උපදේශනය සහ සිසුන්ගේ සැබෑ ජීවිත සන්දර්භය තුළ BBA වලින් එහාට දිවෙන බව දැන සිටීම ඇතුළත් වේ. ශාස්ත්‍රීය නිබන්ධය ආරම්භයේදීම අපේක්ෂාවන් සැලසුම් කිරීම, නම්‍යශීලී වීම, ක්‍රියාවලිය සැලසුම් කිරීම සහ අධීක්ෂණය සඳහා ගතවන කාලය කළමනාකරණය කිරීම එහි කොටසක් වේ. දෙවැනි පියවර ලෙස සිදු කරනු ලබන්නේ සිසුන් සහ සම වයසේ මිතුරන් සමඟ හොඳින් සන්නිවේදනය කිරීම සහ SLIIT ආයතනය විසින් සපයනු ලබන සම්පත් භාවිතා කිරීමේ වාසිය භාවිතා කිරීමයි. තවදුරත් නිර්මාණශීලීව සහ ඉක්මනින් ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ප්‍රතිචාර සහ ගුණ දොස් දැක්වීම ශිෂ්‍යයෙකුගේ වර්ධනයට ඉතාමත් වැදගත්. උදාහරණයක් ලෙස, මම සිසුන් සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරමින් සිසුන්ව සෑම දිනකම මුණගැසෙනවා. ඔවුන්ව ප්‍රධාන වශයෙන් හමුවීමට නොහැකිනම්, විද්‍යුත් තැපෑල, දුරකථන මගින් හෝ zoom තාක්ෂණය වැනි මාධ්‍ය කිහිපයක් හරහා සම්බන්ධ වීමට කටයුතු කරනවා.

අධීක්ෂකවරයා හට තමන්ගේ පර්යේෂණයේ නිශ්චිත මාතෘකාව පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන බවට සිසුන් කිසි විටෙක බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් ශිෂ්‍යයාගේ පර්යේෂණ මාතෘකාව පුළුල් ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට සංකල්පගත කිරීමට සහ නිරූපණය කිරීමට මෙන්ම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව ඔවුන්ගේ දැනුම ඊට අදාළ කර ගැනීමට මඟ පෙන්වීමක් ලබා දිය හැකි අධීක්ෂකවරයෙකු ඔවුන් ඉතා අගය කරනවා. ඒ කොහොම වෙතත් අධ්‍යයනයකදී අවශ්‍ය පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අධීක්ෂකවරයෙකුගේ මගපෙන්වීම, නව පර්යේෂකයන් කුසලතාවලින් සවි බල ගැන්වීමේදී සහ ගුණාත්මක පර්යේෂණ පත්‍රිකා නිෂ්පාදනය කිරීමේදී ඉතාමත් වැදගත් සහ වාසිදායක වෙනවා.

ඔබගේ අදහසට අනුව තෝරාගත් මාතෘකාව හරහා කෙතරම් බලපෑමක් ඇති වුණාද?

මෙම අධ්‍යයනය තුළින් 2000 සහ 2019 වසර තුළ මහාද්වීපය අනුව සහ ගෝලීය වශයෙන් මත්පැන් පරිභෝජනය සහ ඒ හේතුවෙන් ඇතිවන රෝගාබාද අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය විමර්ශනය කරයි. විශේෂ වූ හේතු දෙකක් නිසා මෙම අධ්‍යයනය සිදු කිරීමට කටයුතු කළා. පළමු කාරණය වන්නේ මෙම පර්යේෂණ අධ්‍යයනය පසුගිය වසර 20ක කාලය තුළ එකතු කරන ලද දත්ත භාවිතා කරමින් මහාද්වීප පහම ඇතුළුව ලොව පුරා රටවල් 177 ක් ආවරණය කිරීමට කටයුතු කිරීමයි. එම නිසා මෙම අධ්‍යයනය පුළුල් (රටවල් පිළිබඳ පුළුල් ආවරණයක් සහ පර්යේෂකයාගේ උපරිම දැනුම අනුව, මෙතෙක් පැවති අධ්‍යයනයන් වර්තමාන අධ්‍යයනයේ තෝරාගත් වෙනස්වීම් යටතේ මෙම මාතෘකාව කෙරෙහි අවධානය යොමු කර නොමැත) සහ කාලෝචිත එකක් විය. මීට අමතරව, අධ්‍යයනයේ වටිනාකම වැඩිදුරටත් වර්ධනය කරන ගෝලීය මට්ටමේ විශ්ලේෂණය සමඟ එක් එක් මහාද්වීප සඳහා වෙනම විශ්ලේෂණයක් සිදු කරනු ලබයි. දෙවන හේතුව වන්නේ විශ්ලේෂණය සඳහා තෝරාගත් වෙනස්වීම් පෙර අධ්‍යයනයන් හා සසඳා බැලූ විට ඒවාට සාපේක්ෂව එය අති විශිෂ්ඨ වීමය. ඊට ප්‍රතිවිරුද්ධව අධ්‍යාපනය, දරිද්‍රතාවය සහ මානව සංවර්ධනයේ මට්ටම ගණනය කරන අනෙකුත් ප්‍රධාන මිනුම් පූර්ව අධ්‍යයනයන්හි වෙනස්කම් ලෙස සැලකේ. මෙම සොයාගැනීම් මගින් ගෝලීය රෝගාබාදයන් කෙරෙහි මතුව ඇති මත්පැන් පානය සහ අනෙකුත් බලපෑම් පිළිබඳ සමස්ත චිත්‍රය පෙන්නුම් කරන අතර ගෝලීය රෝගාබාද අඩු කිරීම සඳහා අනාගතයේදී මෙම වෙනස්වීම් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා සපයා දෙනු ලබයි.

SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා කළ අදහස් දැක්වීම මෙසේය.

“අපගේ අරමුණ සඳහා පර්යේෂණ ප්‍රධාන වේ. ජාත්‍යන්තර පර්යේෂණ ශ්‍රේණිගත කිරීම්වල SLIIT හි සාර්ථකත්වය හා අපගේ සියලුම පර්යේෂණ කටයුතුවල විශිෂ්ඨත්වයන් හිමි කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ තිරසාර කැපවීම පිළිබඳව පිළිඹිබු කරන්නක් වන අතර එය ඇගයීමට ලක් කළ යුතුය. මෙම කණ්ඩායමේ ජයග්‍රහණය අපගේ සිසුන් නිෂ්පාදනය කරන අධ්‍යයන කටයුතුවල උසස් තත්ත්වය ද පෙන්නුම් කරන්නක්. මෙම ශිෂ්‍ය කණ්ඩායම විසින් ලබාගෙන ඇති H-දර්ශක ප්‍රතිඵලය මෑත වසරවලදී SLIIT හි පර්යේෂණ ඉදිරියට පැමිණ ඇති ආකාරය පෙන්නුම් කරන එක් දර්ශකයක් පමණි.

පර්යේෂණ පත්‍රිකාව පිළිබඳව තොරතුරු - https://doi.org/10.1371/journal.pone.0270998

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • sri lanaka

SLIIT හි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට සිය වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ශක්තිය ලබා දෙයි

July, 14, 2022

SLIIT හි 'ගුරු විරු' ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට සිය වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ශක්තිය ලබා දෙය

SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන 'ගුරු විරු' ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි.

පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ කුසලතා ඉහළ නැංවීම සහ 21 වැනි සියවසේ අධ්‍යාපන අවශ්‍යතාවලට සරිලන පරිදි ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් 2000කට වැඩි පිරිසක් රට පුරා පැවති සැසි නවයකට සහභාගි වී ඇත. මෙය 2021 වසරේදී ආරම්භ කරනු ලැබූ අතර පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් එම පුහුණු සැසි මාර්ගගතව (Online) පැවැත්වීමට හා ඒ හරහා පුද්ගල පුහුණුව දක්වා ප්‍රගතියක් අත්කරගෙන තිබේ. මෙම සියලුම වැඩසටහන් SLIIT ආයතනය මගින් නොමිලේ පවත්වනු ලැබේ.

පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය,කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශ ගුරුවරුන් සහ SLIIT හි පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා අධ්‍යයන සිසුන්, කටුගස්තොට දොරනෑගම මහා විද්‍යාලය, මීරිගම හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ මීගමුව සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය මේ දක්වා SLIITහි 'ගුරු විරු' ගුරු පුහුණු වැඩසටහන් පවත්වනු ලැබූ ආයතන වේ.

SLIIT හි 'ගුරු විරු' ගුරු පුහුණු වැඩසටහන මගින් ගුරුවරුන්හට ඔවුන්ගේ ඉගැන්වීමේ කුසලතා සහ අනෙකුත් හැකියාවන් වැඩිදියුණු කිරීමට අදාළ මාතෘකා පිළිබඳව පුහුණු කරනු ලැබේ. ඔවුන් සඳහා මේ දක්වා පවත්වනු ලැබූ පුහුණු සැසි වන්නේ ක්‍රියාකාරී පර්යේෂණ, පාඩම් සැලසුම් කිරීම හා සංඛ්‍යාන කුසලතා සහ දත්ත විශ්ලේෂණය වැඩි දියුණු කිරීම පිළිබඳ සැසිය. ආවරණය කර ඇති අනෙකුත් ක්ෂේත්‍ර අතරට පන්ති කාමරයට නව ප්‍රවේශයක්, අධ්‍යාපනික නීතිය සහ මූලික අයිතිවාසිකම් සහ ඵලදායී ලෙස මාර්ගගත ඉගැන්වීමේ ක්‍රම යොදාගැනීම ආදිය ඇතුළත් වේ. SLIIT ආයතනයට එම පුහුණුවන ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අනුව සැසි පවත්වන ආයතන සහ ඊට අවශ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇත.

SLIITහි පළපුරුදු කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෙම පුහුණු සැසි මෙහෙයවනු ලබන අතර, ඔවුන් සිය විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව සුවිශේෂී දැනුමක් ඇති අයවලුන් වේ. SLIIT හි මානව ශාස්ත්‍ර විද්‍යා පීඨයේ හා අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විරාජිත් ගමගේ මහතා මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''ගුරු විරු වැඩසටහනේ අරමුණ වන්නේ සමාජ සත්කාරක වැඩපිළිවෙලක් තුළින් වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ දැනුම, කුසලතා, ආකල්ප සහ වෘත්තීය සංවර්ධනය තුළින් ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමය. 21 වැනි සියවසේ පාසල් හා පන්ති කාමරය සමඟ ගැළපෙන පරිදි ගුරුවරුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම අත්‍යවශ්‍ දෙයක්. එම අවශ්‍යතාවය පවතින්නේ අපගේ දරුවන් 21 වැනි සියවස නියෝජනය කරන නිසා. අද වන විට අපි සැසි නවයක් සාර්ථකව නිම කර තිබෙනවා. ගුරු විරු වැඩසටහන හරහා ගුරුවරුන් අපගේ විශේෂඥ දැනුම හා විෂය විශේෂඥතාවයන්ගෙන් ප්‍රයෝජන ලබනු ඇති බවට හා රට පුරා සිටින දරුවන් දිරිගැන්වීම සඳහා පූර්ණ සූදානමකින් හා විශ්වාසයක් ඇතිව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.''

ගුරු විරු වැඩසටහනේ ඉදිරි සැලසුම වන්නේ මහියංගනය, ගාල්ල, ගිරිඋල්ල වැනි ප්‍රදේශවල පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීමයි. මීට අමතරව 'ගුරු විරු' වැඩසටහනේ අරමුණ වන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 පුරාම සිය පුහුණු වැඩසටහන් පැවැත්වීමය. ගුරුවරුන්ගේ ඉල්ලීම් අනුව මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුනක එම ඉල්ලීම් ඉටු කරමින් වැඩසටහන් පහක් සාර්ථකව පවත්වා ඇත.

SLIIT ආයතනය ගුරුවරුන් සවිබල ගැන්වීම සඳහා ඉතා ඕනෑකමින් කැපවී ක්‍රියා කරන අතර රට පුරා සිටින ගුරුවරුන් සහ ගුරු වෘත්තියක් අපේක්ෂා කරන පුද්ගලයින් හට ප්‍රතිලාභ සලසා දීම සඳහා ජාතික සේවාවක් ලෙස 'ගුරු විරු' වැඩසටහන් අඛණ්ඩව පැවැත්වීමට අරමුණු කර ඇත.

'ගුරු විරු' පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමට කැමති අධ්‍යාපන කලාප, ආයතන සහ පාසල්වලට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 076 3638 200 අංකයෙන් තිරංජය මීගස්දෙණිය අමතා ලබා ගත හැකිය.

 

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • SLIIT Metro Campus
  • sri lanaka

SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා මගින් අනාගත වෘත්තීන් සඳහා නව දැනුම සහ කුසලතා ඔප්නැංවීමට අවශ්‍ය සහය ලබා දෙයි

June, 27, 2022

වෙනස්වන ලෝකයට අවශ්‍ය නව දැනුම හා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට සහ වෘත්තීයන් තුළින් ඉදිරියට යාමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ආයතනික සේවා නියෝජිතයන්ට සහ සිසුන් වෙනුවෙන් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් (PDP) යටතේ කර්මාන්ත සහතික ලත් කෙටිකාලීන පාඨමාලා සහ වැඩමුළු පවත්වනු ලබයි.

තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර සහ ඉංජිනේරු වැනි අංශ ආවරණය කරමින් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් එක්දින වැඩමුළු සිට වසර දෙකක වැඩසටහන් දක්වා වූ පුළුල් පරාසයක් යටතේ කෙරෙන පාඨමාලා වලින් සමන්විතවේ. වෘත්තීය සංවර්ධන වැඩසටහන් මගින් සිසුන්ට, සංස්ථාපිත ආයතන, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන සහ සාමාන්‍ය මහජනතාව සඳහා  සේවා සපයන අතර ඊට සහභාගීවන්නන් සඳහා ඔවුන් සතුව දැනට පවතින කුසලතා ඔප්නැංවීමට හෝ නව දැනුම ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා සඳහා සහභාගීවන්නන් හට වර්තමානයේ රැකියා ස්ථානයක හෝ ව්‍යාපාරික ලෝකයට වටිනාකම් එකතු කිරීමක් ලෙස අවශ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දෙනු ඇත. විශේෂයෙන්ම දැනටමත් උපාධි අපේක්ෂක වැඩසටහනකට හෝ වෘත්තීය මට්ටමේ පුද්ගලයකු වීම සඳහා ලියාපදිංචි වී සිටින සිසුන්ට, පිළිගත් ආයතනයක් ලෙස SLIIT විසින් පිරිනමන වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා තුළින් ඔවුන්ගේ අනාගත ගමන් මඟෙහි සාර්ථකත්වයන් සඳහා බලපෑම් කිරීමට අවශ්‍ය නව උපාය මාර්ග සපයා දෙනු ලබයි.

වර්තමාන ලෝකය තුළ සාර්ථකත්වයට අවශ්‍ය දැනුම සහ ප්‍රවීණත්වය ලබා දෙමින්, මේ වන විට SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා 25කට වඩා අරඹා ඇත. ඒ අනුව ඔරකල් සහතික ලත් ජාවා වැඩසටහන (Oracle Certified Java Program), ග්‍රැෆික් නිර්මාණ සහ බහුමාධ්‍ය වැඩසටහන (Graphic Design and Multimedia Program), වෙබ් සංවර්ධන වැඩසටහන (Web Development Program), මෘදුකාංග තත්ත්ව සහතික කිරීමේ වෘත්තීය වැඩසටහන (Software Quality Assurance Professional Program), CCNA Routing and Switching V7, තොරතුරු තාක්ෂණ යෙදුම්වල සහතික වැඩසටහන (Certificate Program in IT Applications), ව්‍යාපෘති කළමනාකරණය (Project Management), ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන (Digital Marketing Program), Certificate in Microsoft Office-Batch, සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යා  වැඩසටහන (Cyber Security and Digital Forensics Program), Python - 3 හි සහතිකපත්‍ර වැඩසටහන සහ AWS ඇකඩමි ක්ලවුඩ් පදනම් වැඩසටහන (Certificate Program in Python – 3 and AWS Academy Cloud Foundations Program) යන වෘත්තීය සංවර්ධන වැඩසටහන් පවත්වනු ලබයි.

එපමණක් නොව, තම ඉල්ලීම් මත පදනම්ව තමන් කැමති පාඨමාලා වැඩමුළු සඳහා සහභාගී වීමටද අවස්ථාව හිමි වේ. මීට පෙර SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන්  HSBC බැංකුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ අමාත්‍යාංශ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි ආයතන සඳහා එම සේවාදායකයන්ගේ අවශ්‍යතාවය අනුව පවත්වනු ලැබූ සැසි සංවිධානය කර ඇත.

වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා ප්‍රධාන වශයෙන් කොළඹ SLIIT Metro Campus හිදී පවත්වනු ලබන අතර දැනට ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මාලඹේ පිහිටි SLIIT ප්‍රධාන ආයතනයේදීය. වෘත්තීය සංවර්ධන වැඩසටහන් සැසි මහනුවර සහ මාතර විශ්වවිද්‍යාලවල ද පවත්වනු ලබන අතර ඇතැම් තෝරාගත් වැඩසටහන් යාපනය සහ කුරුණෑගලදී පවත්වනු ලබයි. පවත්නා වසංගත තත්ත්වය සහ වර්තමාන තත්ත්වය හේතුවෙන් බොහෝ පාඨමාලා මාර්ගගතව (Online) පවත්වනු ලැබේ. කෙසේ වෙතත්, ඉල්ලීම් මත පදනම්ව සහභාගිවන්නන් සඳහා  පුද්ගලිකව පාඨමාලා සඳහා සහභාගී වීමේ අවස්ථාව ද SLIIT විසින් සලසා දී ඇත.

වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් වන්නේ  ඕනෑම ශිෂ්‍යයෙකු වයස අවුරුදු 16ක් සම්පූර්ණ කර තිබීම සහ අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබීමයි. SLIIT හි කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් පාඨමාලා පවත්වනු ලබයි. සහභාගිවන්නන් හට බාහිර කථිකාචාර්යවරුන් සහ කර්මාන්ත විශේෂඥයින්ගෙ මග පෙන්වීම යටතේ පාඨමාලා අන්තර්ගතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ ඒ සම්බන්ධ උපදෙස් ලැබෙනු ඇත.

SLIIT විසින් ඉදිරියේදී මෙම වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා තවදුරටත් සංවර්ධනය කරමින්  NVQ 3වන මට්ටම දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරයි. ඒ මගින් සිසුන්ට NVQ 4වනමට්ටම වෙත ගොස් උපරිම වසර දෙකක කාලයක් තුළදී ඩිප්ලෝමා පාඨමාලා වැඩසටහනක් සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් විසින් කර්මාන්ත අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Care-giver වැඩසටහනක් ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාඨමාලා රුපියල් 5,000 සිට රුපියල් 100,000 දක්වා වූ මිල ගණන් යටතේ පාඨමාලා ගාස්තු අයකරනු ලබයි.

SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර https://www.sliit.lk/professional-programms/, ඔස්සේ සහ ක්ෂණික ඇමතුම් අංක 077 330 00 66 හෝ 077 965 73 99 හෝ pdpcontact@sliit.lk විද්‍යුත් ලිපිනය හරහා ලබා ගැනීමට හැකිය.