• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • SYA

SYA වැඩසටහනෙහි සංවර්ධනය සඳහා හවුල්කාර ආයතන සමග අත්වැල් බැඳ ගනියි

July, 25, 2022

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 14 ක තරුණ තරුණියන් 280 ක් සඳහා ඔවුන්ගේ අනාගතය වෙනස් කරන අන්දමේ අවස්ථාවන් උදා කරන සමාජ සහජීවනය සහ ප්‍රතිසන්ධාන  (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහනට සඳහා අත්වැල් බැඳගත් ආයතනවලින් වඩාත් සුබවාදී ධනාත්මක ප්‍රතිචාර හිමි වී තිබේ. දිවයින පුරා විසිරී සිටින උද්යෝගිමත් කාර්යශූර තරුණ තරුණියන් සවි සවිබල ගන්වමින් ඔවුන් සතු හැකියාවන් හා නායකත්ව කුසලතා ඔප් නංවමින් දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.

දිවයින පුරා සිටින වයස අවුරුදු 18-29 අතර තරුණ පිරිස, ප්‍රජා වැඩිදියුණු කිරීම් හා තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා දායක කර ගැනීමට මෙන්ම, සිවිල් දැනුවත්භාවය හා ඔවුන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මාස 12 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.

ඉකුත් කාලයේ පැවති කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ, රට තුළ ආයතන විශාල සංඛ්‍යාවකට තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පිරිස් බඳවා ගැනීමේ දී සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විණි.  එවැනි පසුබිමක, මෙම ව්‍යාපෘතිය මගින්   තෝරාගත් දිස්ත්‍රික්ක ගණනාවක තරුණ තරුණියන් 280 ක් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉංජිනේරු ආයතන, කාන්තා හා තරුණ සංවර්ධන මධ්‍යස්ථාන, සමෘද්ධි බැංකු මෙන්ම තවත් සත්කාරක ආයතන ගණනාවක සීමාවාසික පත් කිරීම් ලෙසින් සේවය සඳහා අනුයුක්ත කරනු ලැබිණි. සීමාවාසිකයින් හට සතිපතා සිය කාර්ය සාධනය සහ ප්‍රධාන ඉගෙනුම් නැවත මෙනෙහි කිරීමටත්, අවශ්‍යතා සහ අභියෝග හඳුනා ගැනීමටත්, එකිනෙකා සමඟ අත්දැකීම් හුවමාරු  කර ගැනීමටත් හැකි වන පරිදි, සත්කාරක ආයතනයෙහි දින 4 ක් වැඩ කිරීමටද, සිකුරාදා දින සාකච්ඡා සහ පුහුණු සැසසඳහා සහභාගී වීමද පැවරී තිබිණි. මෙම වැඩසටහන තුළින් තරුණ තරුණියන්ට මෙන්ම, ඔවුන් වෙනුවෙන්  සීමාවාසික පත්වීම් පිරි නමන සත්කාරක ආයතනවලට ද මාහැඟි පල ප්‍රයෝජන අත්විණි.

මෙම වැඩසටහනෙහි එක් සත්කාරක ආයතනයක් වශයෙන් කටයුතු කළ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයෙහි මෙහෙයුම් කළමනාකරු අජිත් වසන්ත ලියනගේ සිය අදහස් පළ කළේ මෙලෙසිනි. “විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහය දැක්වීමට IYAP වෙතින් සීමාවාසික පුහුණුවන්නන් දෙදෙනකු බදවා ගැනීමට අපට හැකි වුණා. ඔවුන් ඉතාමත් නම්‍යශීලී හා පවතින තත්වයන්ට පහසුවෙන් අනුගත වන පිරිසක් නිසාම ඔවුන් වෙතින් හොඳ සහයක් ආයතනයට ලැබුණා. IYAP හි මෙම යහපත් කාර්යය අපි ඉතාමත් ඉහළින් අගය කරනවා. ඒ වගේම, ඕනෑම ආයතනයක පූර්ණ කාලීන සේවකයින් ලෙස ඔවුන් නිර්දේශ කිරීමටත් මම කැමතියි. හොඳින් පුහුණු වූ සීමාවාසිකයින් ආයතන වෙත යොමු කිරීම මෙම තීරණාත්මක අවස්ථාවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහය වීමේ හොඳම ක්‍රමයක්. ඒ අර්ථයෙන් බැලුවම, IYAP විසින් සිදු කරන කාර්යය අතිවිශාලයි. මෙම වැඩසටහනෙහි සත්කාරකයින් වශයෙන් අප වැනි ආයතන සමඟ අත්වැල් බැද ගැනීම ගැන අපි ඉහළින්ම අගය කරන අතරම, අපගේ විශේෂ ව්‍යාපෘති සීමාවාසිකයින්ගේ සහාය ඇතිව කඩිනම් කිරීමට මෙන්ම නියමිත කාලසීමාව නිම කිරීමටත් හැකි වුණු බව සතුටින් සිහිපත් කරන්න කැමතියි".

යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ශාලිනි බාලසිංහම් මහත්මියද සිය අදහස් පළ කළාය. “COVID-19 වසංගතය නිසා බොහෝ තරුණ තරුණියන්ට රැකියා හෝ අධ්‍යාපනය සඳහා යොමු වීමට නොහැකිව නිවෙස්වල සිරවී සිටීමට සිදු වීම, ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් කළ කාරණයක්. මෙම සීමාවාසික වැඩසටහන මගින් ඔවුන්ට නිසි මග පෙන්වීම ලබා දෙමින් ආයතනික දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අනාගත අවිනිශ්චිතතාව දුරු කිරීමට සමත් වුණා. සීමාවාසික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුත්, සංවිධානයේ අභිප්‍රායට සහය දැක්වීමට වැටුප් නොලබන ස්වේච්ඡා සේවකයන් ලෙස දිගටම වැඩ කිරීමට සීමාවාසිකයින් ගණනාවක්ම නැවත පැමිණ තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ, ප්‍රජාව තුළ වෙනසක් ඇති කිරීම සඳහා  ඔවුන් තුළ පවතින ආශාව, කැපවීම සහ ධනාත්මක මානසිකත්වයයි."

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ උපදේශක ප්‍රජා වෛද්‍ය-ජාතික වැඩසටහන් කළමනාකාරිනී (යොවුන් සහ තරුණ සෞඛ්‍යය පිළිබඳ) වෛද්‍ය පී.වී.එස් චිරන්තිකා විතාන මෙලෙස සිය අදහස් දැක්වූවාය. “IYAP ව්‍යාපෘතියේ SYA වැඩසටහන මඟින් තරුණ සීමාවාසිකයින් සඳහා පුහුණුව ලබා දීමට හැකි වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තම කුසලතා වර්ධනය කර ගැනීමට ලැබෙන මාහැඟි අවස්ථාවක්. ඕනෑම රටක අත්‍යවශ්‍ය අංගයක් වන සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ මෙම සීමාවාසිකයින් උද්‍යෝගිමත් ආකාරයෙන් තම රාජකාරි ඉටුකරමින් දැනුම උකහා ගැනීම අපව දිරි ගන්වනසුලු කාරණයක්. මෙම විශිෂ්ට කර්තව්‍යය මම ඉහළින්ම අගය කරනවා. ඉදිරි වසරවලදී IYAP මෙම වැඩසටහන මගින් මෙවැනි සත්කාරයන් නොකඩවා පවත්වා ගෙන යනු ඇතැයිමම විශ්වාස කරනවා."

2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්‍රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි

  • Ada Derana BIZ Sinhala
  • IYAP
  • sri lanaka
  • SYA

සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

June, 23, 2022

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් පැවැත්වෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මගින්, දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක තරුණ තරුණියන් 280 දෙනෙකු සඳහා ජීවිතය වෙනස් කරන මාහැඟි සීමාවාසික පුහුණු අවස්ථාවන්  පිරි නමා තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙන සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන දිවයින පුරා සිටින තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් ඔප් නැංවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා දායක කර ගැනීමට මෙන්ම, සිවිල් දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙය මාස 12 ක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන මගින්, පූර්ව සීමාවාසික පුහුණු කඳවුරු වලින් අනතුරුව සීමාවාසිකයින් 280 දෙනෙකු මාස ​​4 ක කාලයක් සඳහා සිය දිස්ත්‍රික්කය තුළ විවිධ ආයතනවලට අනුයුක්ත කෙරිණි. එහිදී, පුහුණුකරුවන් දෙදෙනකුගේ මග පෙන්වීම යටතේ ඔවුනට සතියට දින හතරක් සත්කාරක ආයතනයේ වැඩ කිරීමටත්, අනෙක් දින එනම්, සිකුරාදා දිනයෙහි නැවතත් පුහුණු කටයුතුවල නියැලීමටත් අවස්ථාව ලැබී තිබිණි. සමස්තයක් වශයෙන් ගත් කල, සමාජ ක්‍රියාකාරිකයින් ලෙස තරුණයින්ට මෙම සීමාවාසික පුහුණුව මගින්, විවිධ සමාජ ගැටලු හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කර තිබේ.

මෙවැනි පුහුණුවකින් සැලසෙන වැදගත්ම ජයග්‍රහණයක් නම්, රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු කිරීමට තරුණ ප්‍රජාව තුළ උද්යෝගය වර්ධනය කිරීමයි. “සීමාවාසික පුහුණුවෙන් පසුව මම මෙහිදී ලැබූ අත්දැකීම් සමග රටේ සංවර්ධනය සඳහා දායක වීමට කැමතියි. මම ත්‍රිමාණ සජීවිකරණ සහ වෙබ් සංවර්ධන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට තෝරා ගත්තෙත්,  ඒ නිසයි. මම ඒ ඔස්සේ සාර්ථක වුණොත්, මට ඊළඟ පරම්පරාවටත් ඒ මාර්ගය විවෘත  කරන්නත් පුළුවන්.” යනුවෙන් පුහුණුව සාර්ථක ලෙස නිමා කළ යාපනය ප්‍රදේශයේ සීමාවාසිකයකු සඳහන් කළේය.

සිය වෘත්තිය ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමටද ඇතැම් තරුණ පිරිස් මෙම පුහුණු අත්දැකීම් උපයෝගී කර ගෙන ඇත. සිමාවාසික පුහුණුව ලැබූ මාතර ප්‍රදේශයෙන් තෝරා ගැණුනු තරුණියක් සඳහන් කළේ මෙවැන්නකි. “ගණකාධිකාරිවරයකු වීම මගේ අරමුණ නිසා මම ආධුනික ගණකාධිකාරිවරයෙක් ලෙස සත්කාරක ආයතනයේ සේවය කළා. ආයතනයෙන් ලැබූ එම පුහුණුව නිසා, මට විදේශ සමාගමක කනිෂ්ට ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා.” අතැමකුට සිය සිහින වෘත්තියට පිය නැගීමට මෙම පුහුණුව හිණි මගක් වී තිබේ. මෝස්තර නිරූපණ වෘත්තිය ස්වකීය සිහින වෘත්තිය ලෙස තෝරා ගත් මුලතිව් ප්‍රදේශයේ තරුණියක පුහුණුව සඳහා මැහුම් ආයතනයකට බැඳී තිබිණි. එමෙන්ම නවකතා රචිකාවක වීමේ සිහිනයට පණ දෙන මොණරාගල තරුණියක සීමාවාසික පුහුණුව සඳහා පොත් සාප්පුවකට බැඳී, නවකතා කියවීමට මෙන්ම ඇගේම නවකතාව ලිවීමටත් අවස්ථාව සලසා ගෙන තිබිණි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත් තරුණ තරුණියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් මෙම වැඩසටහන ඊට සුදුසුම කාලයේදී හඳුන්වා දුන් බව පොදු පිළි ගැනීමයි.  “වසංගතය නිසා සෑහෙන කාලයක් නාස්ති වී යාම ගැන මම හිටියෙ කණස්සල්ලෙන්. ඒ වුණත්, SYA මගින් පැවැත්වූ පුහුණු කඳවුර, මාස 4 සීමාවාසික පුහුණුව, සිකුරාදා දිනවල පැවැත්වූ පුහුණු සැසි සඳහා සහභාගි වෙන්න අවස්ථාව සැලසුවා. ” තමන්ට මෙම පුහුණුව ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳව තරුණ තරුණියෝ IYAP වෙත සිය කෘතඥතාව පළ කළහ. එමෙන්ම, තමන්ට ආදර්ශමත් පුරවැසියන් බවට පත් වීමේදී සිය හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා මෙම පුහුණුව මගින් මාහැඟි පිටුබලයක් සැලසුණු බවද ඔවුහු ප්‍රකාශ කළහ.

2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්‍රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි. එහි අරමුණු අතර, තරුණ නියෝජනය ශක්තිමත් කර සමාජයට සහ රටට බලපාන ගැටලු විසඳීම සඳහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් යොමු කිරීම කැපී පෙනේ.