• video

ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට උපදෙසක්

April, 25, 2025

මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.

මේ වන විට එක්සත් ජනපදයේ වොෂිංටන් හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වසන්ත රැස්වීම් (2025 Spring Meetings) හි ඊයේ (24) පැවති Regional Economic Outlook – Asia and Pacific සැසියේ දී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා,

"ඉතා මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. නව තීරුබදු ප්‍රකාශයට පත්වෙද්දී පවා ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ. එම වාතාවරණය තුළ ලැබී තිබුණු කාලය තීරුබදු බලපෑම සහ ආර්ථිකයේ වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ සාර්ව ආර්ථික රාමුවක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපගේ කණ්ඩායම නැවත පැමිණි පසුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම කරගෙන ගියා."

"පුළුල් වශයෙන් බැලුවහොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් තීරුබදු බලපෑමට ලක්වූ රටක් බව කිව හැකියි. ඇඟලුම් කර්මාන්ත අංශයට ඉන් ඇතිවිය හැකි බලපෑම විශාලයි. තවත් අංශවලට එය බලපානවා. තීරුබදු බලපෑම විශාල වශයෙන් එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව පමණක් නොව, මෙම බලපෑමට හසුවිය හැකි අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, කලාපය තුළ මනා සමෝධානයක් පවත්වා ගැනීම ආදිය හරහා ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට උපකාරී විය හැකියි."

"එතැනින් ඒහාට ගියොත්, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කළ යුතුවෙනවා. එය බදු නිදහස් කිරීම් හරහා කරන දිරිගැන්වීම්වලින් නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාබද්ධතාවය හා මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා. එම තත්ත්වයන් නොවෙනස්ව පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීමෙන් ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි."

 

  • video

අමිතාබ් භච්චන්ගෙන් ලාංකික නිෂ්පාදනයකට ඉහළ පැසසුම්

May, 13, 2023

ඉන්දියාවේ ප්‍රවීණතම සහ ජනකාන්ත සිනමා නළුවෙකු වන අමිතාබ් භච්චන් විසින් මෙහෙයවන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුර පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ද කතාබහට ලක් විය. අමිතාබ් විසින් මෙහෙයවන Kaun Banega "Crorepati" වැඩසටහන අතරතුර එලෙස කතාබහට ලක් වූයේ දශක ගණනාවක් පුරා සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ආදරයට පත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන ලින්ක් සමහන්ය.

Kaun Banega "Crorepati" වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන අමිතාබ් සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබා දෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියේය. ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුව වන බව පවසමිනි.

වටිනා ඖෂධ රැසක සුසංයෝගයක් රැගත් අපේම නිෂ්පාදනයක් මෙලෙස කතාබහට ලක්වීම සතුටට කරුණක් නොවේද?

 

  • video

ජනතාවගේ බැංකු තැන්පතු ගැන මහ බැංකු අධිපති සහතික වෙයි

May, 10, 2023

දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සහ මහජනතාවගේ තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මහ බැංකුව විදියට අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම. කුමනාකාරයේ හෝ දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බවට අපි තහවුරු කරනවා. ඒ වගේම මහජන තැන්පතුවල ආරක්ෂාවත් අපි තහවුරු කරනවා.“


 

  • video

සූර්යා වෙතින් ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්

April, 12, 2023

පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ.

සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී එය නැවත නැවත පරිශීලනය කිරීම තරමක් දුෂ්කර කාර්යයක් වන නිසා, කාටත් ඉක්මනින් හා පහසුවෙන් සොයාගැනීමට සහ පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට ඩිජිටල් ලිතක් නිර්මාණය කිරීමට සූර්යා පියවර ගෙන තිබේ.

අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සැමරීමකි. එම නිසාම සූර්යා නාමය අලුත් අවුරුද්ද සමග මැනැවින් ගැළපේ. වසර 40 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදනය කළ සූර්යා, තම මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් මෙම ඩිජිටල් ලිත නිර්මාණය කර ඇත.

මෙම ලිත පරිශීලනය සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ ස්මාර්ට් දුරකථනයකින් සූර්යා ගිනිපෙට්ටියක් ස්කෑන් කිරීම පමණි. එමගින් Facebook සහ Instagram සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඩිජිටල් ලිත නැරඹිය හැකි AR filter වෙත පිවිසිය හැකි වේ.

පැරණි අවුරුද්දට ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිපගිනි මෙළවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සඳහා පිටත් වීම වැනි ඉතා වැදගත් නැකත් 8ක් මෙම ඩිජිටල් ලිතට ඇතුළත් කර ඇත.   

“මෙරට ජනතාවට සෞභාග්‍යමත් නව වසරක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනූ සූර්යා, වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන රුචිකත්වයන්ට ගැළපෙන නවෝත්පාදන රාශියක් හඳුන්වා දී තිබෙනවා. මේ ඩිජිටල් ලිත, අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු නො-අනුමානයි.” සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් මහත්මිය පැවසුවා ය.

සූර්යා මේ වනවිට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටි ආලේපිත ගිනිකූරු වැනි පුරෝගාමී නිෂ්පාදන රාශියක් හඳුන්වා දී ඇත. මෙහි නවතම පියවර වන ඩිජිටල් ලිත, කඩදාසි භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට දායක වන අතරම, තිරසාර ජීවන රටාවක වැදගත්කම අවධාරණය කරන පියවරක්ද වේ. මේ වනවිට කඩදාසි භාවිතය තවදුරටත් අවම කරමින්, තම බෙදාහැරීම් ක්‍රියාවලිය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමටද සන් මැච් සමාගම පියවර ගෙන ඇත.

ගිනිකූරු වලට අමතර සූර්යා විසින් සුවඳ කූරු සහ නොවැගිරෙන ඉටිපන්දම් වැනි විශේෂ නිෂ්පාදන රැසක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සූර්යා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, එහි සන්නාම තානාපතිනිය ලෙස ජනාදරයට පත් රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම පත්කිරීමටද සන් මැච් සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙය මෙරට පාරිභෝගිකයන් අතර සූර්යා සන්නාමය පිළිබඳව පවතින ඇල්ම, ආදරය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කරවන පියවරක් වනු නිසැක ය.

ලිත නැරඹිය හැකි AR Filter වෙත පිවිසිය හැකි ආකාරයන්:

Facebook – http://bit.ly/3nCTDHs

Instagram – bit.ly/3JXHS5K

 

ඡායාරූපය : සූර්යා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද, Instagram සහ Facebook හරහා AR Filter වෙත පිවිසී පරිශීලනය කළ හැකි ඩිජිටල් ලිත

  • video

තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි – ජනපති පවසයි

March, 21, 2023

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙතැන් සිට ඇති කරගත් එකඟතාව අනුව ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ එකඟතා ගිවිසුම හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

  • video

ලොව සුප්‍රසිද්ධ නිරූපිකාවකගෙන් ‘සමහන්’ සඳහා අද්විතීය ඇගයීමක්

March, 4, 2023

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නිරූපිකාවක් වන නයෝමි කැම්බෙල් නිරන්තරයෙන් සිය අත්බෑගය තුළ ‘සමහන්’ තබා ගන්නා බව පවසයි.

Vogue India සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසන්නේ,‘What does Naomi Campbell carry in her bag?’ යන්නට ප්‍රතිචාර දක්වමිනි. සමහන් සිය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා හොඳ දෙයක් බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, 100% ක්ම ස්වභාවික ශාකසාර ගුණය අඩංගු ඖෂධීය පානයකි. එය පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා අත්දුටු පිළියමක් ලෙස පරම්පරා ගණනාවක් සම්ප්‍රදායිකව භාවිතා කරනු ලබන ආයුර්වේද ඖෂධ 14ක සාරයෙන් නිපදවා ඇත.

ලින්ක් සමහන් පළමු වරට 1995 වසරේ දී වෙළදපොළට හඳුන්වා දී ඇති අතර දශක තුනකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාසය දිනාගනු ලැබූ දේශීය සන්නාමයක් බවට පත්වී ඇත. ජාත්‍යන්තර වශයෙන්ද ලින්ක් සමහන් යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, මැදපෙරදිග සහ ජපානය ඇතුළු රටවල් 30කට අධික සංඛ්‍යාවකට අපනයනය කිරීමද විශේෂත්වයකි.

  • video

IMF අපට ක්‍රියාත්මක කිරීමට කරුණු 15ක් ලබා දුන්නා. දැන් ඒ සියල්ල සම්පූර්ණයි – ජනපති කියයි

February, 21, 2023

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත්, වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බව ද පැවසීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ මෙම අභියෝග පිළිබඳ නොදැන නොවන අතර කුමන බාධක හමුවේ වුවද රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ නවතා නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද මෙම හමුව කැඳවනු ලැබුවේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිළි කිරීමට සහ මෙම තත්ත්වයෙන් ගොඩඒමට ගතයුතු පියවර පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහායි. අද අප මේ ගත කරමින් සිටින්නේ අසීරු කාලයක්. නිවසක ආර්ථිකය කඩා වැටුණු විට එය දැනෙන්නෙ නිවසේ පුද්ගලයින්ට. ව්‍යාපාරයක් කඩා වැටුණොත් ඒක ව්‍යාපාරිකයින්ට දැනෙනවා. නමුත් රටක ආර්ථිකයක් කඩා වැටුනොත් ඒක සමස්ත ජනතාවටම දැනෙනවා.

මීට මාස එකොළහකට පෙර අප මේ තත්ත්වයට මුහුණ දුන්නා. අපට ඉන්ධන, විදුලි බලය, ඖෂධ තිබුණේ නෑ. ඉතා දුෂ්කර තත්ත්වයකට රටක් ලෙස අපි මුහුණ දුන්නා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැවතුණා.

මම ජනාධිපති ධූරය භාර ගන්නා විට රටේ පැවතුණේ එවැනි ගැටලුකාරී තත්ත්වයක්. නමුත් අප නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. නිසි වේලාවට එම පොහොර ලබාදීම නිසා මෙවර මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.

දැන් ඉන්ධන පෝලිම් නැහැ. විදුලි බලය තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ටිකෙන් ටික පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපට තවත් ප්‍රශ්න තිබෙනවා.

අද උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා. පොලී අනුපාතය ඉතා වැඩියි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවට මුහුණ දී සිටින බව අපි දන්නවා. ඒ වගේම නීතීඥවරුන්ටත් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රටේ මූලික ගැටලු රැසකට අප මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තවත් ගැටලු ගණනාවක් අප ඉදිරියේ තිබෙනවා.

රටක් බංකොලොත් වූ විට යන්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. ඒ හැර ලෝකයේ රටක් බංකොලොත් වූ විට ආධාර ලබා දෙන්න වෙනත් සංවිධානයක් නෑ. ආර්ථිකය කඩා වැටුණු හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තමයි නැවත ගොඩ ආවේ. කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩ නඟන්න ග්‍රීසියට අවුරුදු 13 ක් ගතවුණා. මම අවුරුදු දහතුනක් ජනාධිපති ධූරයේ සිටීමට බලාපොරොත්තුවක් නැහැ.

මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉණිමඟක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019 දි පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 09% දක්වා පහළ ගොස් තිබෙනවා. ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොමද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන ඔබට සහනයක් දෙන්නේ කියලා.

ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයටත් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමට අපි සූදානම්. එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙනවා ද කියා බලන්න පුළුවන්.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31 වැනිදාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා. ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15 ඉටු කරගන්න නොහැකි වුණා . අවසන් වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි පහළොස් වෙනිදා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කලා.

මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.

එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.

අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා. පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා. නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යෝජනා කළේ සියලුදෙනා එක් වේදිකාවකට පැමිණ සාකච්ඡා කරන්න කියලා. නමුත් චීනය ලෝක බලවතෙක් නිසා ඔවුන්ගේ ක්‍රමවේදය ඊට වෙනස්. එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා. ආර්ථිකය කඩා වැටුණු රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි එහිදි සොයා බැලීමට නියමිතයි. එතනදි චීන මුදල් ඇමතිවරයා සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.

අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත් ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා. යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා.

රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳ ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.

අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා . අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.

මම රට බාරගත්තේ කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවු අවස්ථාවකයි. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී විවිධ බැනුම් අහන්න සිදුවෙනවා කියලා දැනගෙන තමයි ජනාධිපති ධූරය භාරගත්තේ. නමුත් රටේ ආර්ථිකය ගොඩනගන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. මේ වසර අවසානය වන විට රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ලබන වසර ආරම්භයේ සිට ආර්ථික සංවර්ධනයේ මූලාරම්භය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 කෙරෙහිම අද ජනතා විශ්වාසය නැති වෙලා. ඒ නිසා ඒ ජනතා විශ්වාසය නැවත දිනා ගැනීමටත් කටයුතු කළයුතුයි. .

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අපි සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබෙනවා.ඒ සඳහා ඔබගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.මගේ විශ්වාසයක් තිබෙනවා 2024 වන විට අප නැවත සංවර්ධනය කරා ගමන් කරන බව.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙසේද පැවසීය .

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අදාළ ගෙවීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එම නිසා එම ගෙවීම් පිළිබඳ සංගණනයක් කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සංගණනය සිදු කළ වහාම ඉදිකිරීම්කරුවන්ට නියමිත ගෙවීම් සිදු කරනවා. මුදලින් ලබා දියහැකි ඒවා මුදලින් හා අනෙකුත් ඒවා බැඳුම්කර මගින් ලබා දෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම,අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , මහනුවර නගරාධිපති කේසර සේනානායක ,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්. එස් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • video

PAYE බදු ගැන අලුත් චක්‍රලේඛයෙන් සිදුවන වෙනස මෙන්න

February, 8, 2023

වැටුප් මත බදු අය කිරීමේ දී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කෙරේ - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව,

නිවාස -

දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5%ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.

වාහන -

ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් වෙනස් කර ඇත.

ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.

දුරකතන -

100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මගින් සලකනු ලබයි.

සහනදායී ණය පොලී -

සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම වෙනස් කිරීම් මගින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.