December, 6, 2022
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්රී ලංකාවට බහුපාර්ශ්වික මූල්ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen), ජාත්යන්තර මූල්ය අරමුදලේ ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෲවර් (Peter Breuer), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel) යන මහත්වරු සමග පැවති මෙම සාකච්ඡාවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර, ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
November, 8, 2022
රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දැක්ම ජාත්යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
ඉදිරි සති දෙක අවසානයේ එම ප්රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ රට වෙනුවෙන් වූ ක්රියාකාරී ප්රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය
ප්රතිපත්ති සහ ආයතනික ප්රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.
අපේක්ෂිත සංවර්ධන මූල්ය අවශ්යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්ය ආධාර සැපයීම, මූල්ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.
ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්ය අධීක්ෂණය, බදු පරිපාලන ප්රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්ය ප්රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.
රජය සතු ව්යවසාය පිළිබඳ අධීක්ෂණය ප්රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්රවාහන ක්ෂේත්රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා යන මහත්ම මහත්මීහු සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.
Video Story