Tantri සහ Mercy Education Campus මෙරට තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතාවය නැංවීම වෙනුවෙන් අත්වැල් බැදගනී

    February, 13, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්මික නිෂ්පාදන සමාගමක් වන Tantri Trailers (පුද්) සමාගම, මෙරට තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් පුත්තලම Mercy Education Campus සමඟ නව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම 2026 පෙබරවාරි 12 වන දින කොළඹ BMICH Orchid ශාලාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අධ්‍යාපන අංශයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් අත්සන් කරන ලදී.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ කාර්මික අංශ මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ පුහුණු තාක්ෂණික ශිල්පීන්ගේ හිඟයයි. මෙම අභියෝගය ජය ගැනීම සඳහා, නව සහයෝගීතාවය හරහා කාර්මික ඉල්ලුමට සරිලන වෘත්තීය මට්ටමේ තාක්ෂණික පාඨමාලා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙමගින්, විදේශීය ශිල්පීන් මත යැපීම අවම කරමින් දේශීය තරුණ පිරිසට නවීන තාක්ෂණය හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට කටයිතු කරයි.

    Tantri Trailers (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. "ශ්‍රී ලංකාවේ කර්මාන්ත දියුණු වීමට නම් රැකියාවට සූදානම් තාක්ෂණික ශිල්පීන් පිරිසක් අපට අවශ්‍යයි. Mercy Education Campus සමඟ එක්ව අප කරනු ලබන මෙම ආයෝජනය හරහා, රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කරන අතරම තරුණ තරුණියන්ට රැකියා ලබා ගැනීමට මග පාදන ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට අපේක්ෂා කෙරේ. අපගේ අරමුණ තරුණ ශ්‍රී ලාංකිකයන්ට ගෞරවනීය වෘත්තියක නියැලීමට මග පෙන්වීම සහ දේශීය කර්මාන්තයන්හි දියුණුව කරා අවශ්‍ය දක්ෂ පිරිස් බලකායක් සොයා ගැනීමට උදවු කිරීමයි.”

    ශ්‍රී ලංකාවේ තරුණ විරැකියාව සහ කාර්මික නිෂ්පාදනයේ පවතින ගැටලු සඳහා විසඳුම් අවශ්‍ය මෙවැනි මොහොතක, රටේ අනාගතය ගොඩනැගීමට මෙම ආයතන දෙකෙහි එක්වීම අතිශයින් වැදගත් වේ. මෙහිදී ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා සිසුන්ට ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන අතර, එමගින් වර්තමාන හා අනාගත රැකියා වෙළඳපොළට අවශ්‍ය සැබෑ දක්ෂතාවලින් ඔවුන්ව සන්නද්ධ කරනු ඇත.

    මෙම ගිවිසුම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වන ගුණාත්මක අධ්‍යාපනය (SDG 4), යහපත් රැකියා සහ ආර්ථික වර්ධනය (SDG 8), කර්මාන්ත, නවෝත්පාදන, යටිතල පහසුකම් (SDG 9) හා ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ හවුල්කාරිත්වය (SDG 17) වැනි ප්‍රධාන අරමුණු සමඟ සමීපව බැඳී පවතී. මෙම හවුල්කාරිත්වය මගින් Tantri Trailers සහ Mercy Education Campus එක්ව උසස් තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීමටත්, අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත්, කර්මාන්ත සහ අධ්‍යාපන අංශ අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගමින් ලංකාවේ කාර්මික දියුණුවට සහය වීමටත් බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි අත්දැකීම් ඇති Tantri Trailers සමාගම, ජාතික මට්ටමේ කාර්මික ව්‍යාපෘති රැසකට දායක වූ විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම TVEC ලියාපදිංචි ආයතනයක් වන Mercy Education Campus  වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් විශාල පළපුරුද්දක් ඇති ආයතනයකි. මේ දෙපාර්ශ්වයම එක්වීම හේතුවෙන් මෙය, මෙරට කර්මාන්ත සහ අධ්‍යාපන අංශ අතර ඇති වූ ඉතා වැදගත් සහ ශක්තිමත් සබඳතාවක් බවට පත්ව තිබේ.

    ඉදිරියේදී මෙම පුහුණු වැඩසටහන් තවත් තාක්ෂණික අංශ කරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය. එමෙන්ම Tantri Trailers සමාගම තුළම සිසුන්ට වෘත්තීය අභ්‍යාස සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීමටත් එමගින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සහ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට හැකි ශක්තිමත් කාර්මික පද්ධතියක් ගොඩනැගීමටත් බලාපොරොත්තු වේ. මෙම ක්‍රමවේදය වෙනත් තාක්ෂණික විද්‍යාල සමඟ ද එක්ව ක්‍රියාත්මක කිරීම මෙහි අවසාන අරමුණයි.