Technocity ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Kaspersky නිල බෙදාහැරීම් සමාගම ලෙස පත්කෙරේ

    December, 20, 2024

    ලොව සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණ වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software - පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම නිල බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම නම් කර තිබේ. මෙම පත්කිරීම නිවේදනය කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් 2024 දෙසැම්බර් 18 දින කොළඹ කිංස්බරි හෝටලයේ ‘Balmoral Hall’ හිදී පැවැත්වුණු අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන කරන ප්‍රධාන පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

    සයිබර් ආරක්ෂාවේ නවෝත්පාදන සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන Kaspersky මේ වනවිට ලොව රටවල් 200 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති අතර, ලොව පුරා කාර්යාල 35 ක් පිහිටුවා තිබේ. ලොව පුරා සමාගම් හා ආයතන 220,000 කට අධික සංඛ්‍යාවක් සහ පුද්ගලයන් මිලියන ගණනක් Kaspersky කෙරෙහි විශ්වාසය තබා ඇත. සයිබර් ආරක්ෂාවට එල්ලවෙන තර්ජන සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් එම තර්ජන පිටුදැකිය හැකි ක්‍රම හඳුන්වා දීමට Kaspersky සෑම විටම කටයුතු කරයි. මෑතකදී ‘Gartner and Forrester’ විසින් Kaspersky සයිබර් තර්ජනවලින් අන්තර්ජාල උපාංග ආරක්ෂා කිරීම සම්බන්ධ ලොව ප්‍රමුඛයෙකු ලෙස නම්කරන ලදි. මේ වනවිට Kaspersky ලොව එබඳු ආරක්ෂාවක් ලබාදෙන ප්‍රමුඛතම සේවා සම්පාදක සමාගම් 4 අතරින් එකක් ලෙස සැලකේ.

    “තොරතුරු තාක්ෂණික පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් හිමි Technocity සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. ගෘහස්ථ පාරිභෝගිකයන් මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවලට සයිබර් ආරක්ෂාව සම්බන්ධ තර්ජන එල්ල වීමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ පිළිබඳව එම කාණ්ඩයේ පාරිභෝගිකයන් දැනුවත් කරමින්, ඔවුන්ට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කයයි.” Kaspersky හි පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී (දකුණු ආසියාව) පුර්ෂෝත්තම් භාතියා මහතා පැවසී ය.

    Technocity (පුද්.) සමාගම යනු පුළුල් තලයේ තාක්ෂණික දැනුමක් සහ පාරිභෝගික සේවාවන් සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් හිමි සමාගමකි. තොරතුරු තාක්ෂණික බෙදාහැරීම් සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති එම සමාගම සතුව වෛරස පිටුදැකීමේ මෘදුකාංග ස්ථාපිත කිරීම, දෝෂ නිවැරදි කිරීම සහ අඛණ්ඩ නඩත්තු සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත කාර්ය මණ්ඩලයක්ද සිටී. Technocity සමාගම දීපව්‍යාප්තව සේවාවන් සපයන නිසා රටේ සෑම දිස්ත්‍රික්කයම වෙසෙන පාරිභෝගිකයන්ට ඉතාමත් ඉක්මනින් එහි සේවාවන් ලබාගැනීමට හැකි වී ඇති අතර, පාරිභෝගික විමසීම්වලට ඉක්මනින් පිළිතුරු සහ අවශ්‍ය මගපෙන්වීම් ලබාදීම සඳහා එහි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සූදානමින් සිටී. මින් ඉදිරියට Kaspersky සතු උසස් සයිබර් ආරක්ෂක විසඳුම්ද සමගින් පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට Technocity සමාගම කටයුතු කරනු ඇත.

    “මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සියලුම නිවෙස් හා ව්‍යාපාර වෙත විශ්වාසනීය සයිබර් ආරක්ෂක විසඳුම් සැපයීමේ උත්සාහයේ කැපීපෙනෙන ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ බෙදාහැරීම් සමාගමක් වශයෙන් අප උත්සාහ කරන්නේ Kaspersky සතු ජාත්‍යන්තර තලයේ විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාව සලසා දීමටයි.” Technocity (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆහ්මි ඉස්මායිල් මහතා පැවසී ය.

    පාරිභෝගිකයන්ට විශිෂ්ට තලයේ ආරක්ෂාවක් සහ කාර්යක්ෂම සේවාවක් පිරිනමමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් නව මානයක් සනිටුහන් කිරීමට Technocity (පුද්.) සමාගම සූදානමින් සිටී. සයිබර් ආරක්ෂාවට එල්ල වෙන තර්ජන දිනෙන් දින ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, කලාපයේ පාරිභෝගිකයන්ට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සයිබර් ආරක්ෂාව පිළිබඳව සිත් තැවුල් ඇතිකරගැනීමෙන් තොරව අන්තර්ජාලය පරිහරණය කරමින්, වර්තමාන ඩිජිටල් ලෝකයේ තාක්ෂණික ප්‍රගතියෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට අවස්ථාව සලසා දීම දෙපාර්ශ්වයේ අරමුණ වී තිබේ.