May, 27, 2025
CPEX Sri Lanka යනු TEMU සමාගමේ භාණ්ඩ බෙදාහැරීමේ නිල ඒජන්ත සමාගම වන අතර, මෑතකදී සිදු වූ භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් නිකුත් කරමින්, එහි වර්තමාන තත්ත්වය පිළිබඳ මෙලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත.
මැයි මාසයේ මුල් සති තුන තුළ, අවසන් බෙදාහැරීමේ අදියරට සම්බන්ධ දේශීය බෙදාහැරීම් හවුල්කරුවෙකුගේ කාර්ය සාධනය සිදු නොවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් මත භාණ්ඩ බෙදාහැරීමේ තාවකාලික බාධාවක් සිදු වූ බව සමාගම තහවුරු කළේය. මෙම ප්‍රමාදය නිසා ඒ වන විටත් ලංකාවට පැමිණ තිබූ TEMU පාර්සල් කඩිනමින් භාර දීමට සහ Tracking ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගෙන යාමට බලපෑවේය.
“තමන්ගේ ඇණුවම් බලාපොරොත්තුවෙන් සිටි TEMU පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව ගැන අපි ඉතා කණගාටු වෙනවා. බෙදාහැරීම අත්හිටුවන ලද පාර්සල් මැයි 20 දින අලුයම වන විට අප වෙත ලැබුණු අතර, ඒවා නැවත බෙදාහැරීමට ප්‍රමුඛතාව දෙමින් නව හවුල්කාර ආයතන වෙත වහාම භාර දීමට අප කටයුතු කළා. අවාසනාවකට මෙන් සමහර පාර්සල් මාසයකට අධික කාලයක් රැඳවා ගැනීමට සිදුවී තිබුණා. කලින් බෙදාහැරීමේ ආයතනය විසින් මෙසේ හදිසියේ සේවාව අත්හිටුවීම නිසා ගොඩගැසුණු පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීමට නොහැකි වුණු අතර, මෙය බොහෝ පාරිභෝගිකයන්ගේ කණස්සල්ලට හේතු වී තිබුණා.” යනුවෙන් CPEX ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම කරුණ සම්බන්ධයෙන් හොංකොං හි CPEX ජාත්‍යන්තර ප්‍රධානීන්ගේ සහ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ ද ඍජු අවදානය යොමු වී ඇත. බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂමව සහ සුරක්ෂිතව නැවත ආරම්භ කිරීම සඳහා CPEX Sri Lanka බෙදාහැරීමේ කණ්ඩායම නව කුරියර් සේවා ආයතන සමඟ මේ වන විටත් දිවාරාත්‍රී පුරා කටයුතු කරමින් සිටියි.
2025 මැයි 20වන දින රට පුරා බෙදාහැරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ බව CPEX සමාගම තහවුරු කළ අතර, මේ දක්වා පාර්සල් දහස් ගණනක් සාර්ථකව බෙදාහැර ඇත. ඇති වූ බාධාව හේතුවෙන් ප්‍රමාද වූ සියලුම TEMU පාර්සල් මැයි 26 වන විට CPEX ගබඩාවෙන් බෙදාහැරීම සඳහා නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉදිරි දින කිහිපය තුළ තමන්ගේ ඇණවුම අපේක්ෂා කළ හැකිය.
TEMU App එක හරහා තම ඇණවුම්වල තත්ත්වය පරික්ෂා කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇති අතර, CPEX බෙදාහැරීමේ නියෝජිතයන්ගේ SMS සහ ඇමතුම් ගැන විමසිලිමත් වන ලෙස ද සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. Tracking තොරතුරු වෙනස් නොවී පවතින්නේ නම්, පාර්සලය අවසන් අදියරේ බෙදාහැරීම්වල පවතින බව නිගමනය කළ හැකිය.
මතු වූ තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත් වූ සියලු පාරිභෝගිකයන්ට CPEX සමාගම සිය බලවත් කණගාටුව පළ කරන අතර, අනාගතයේ මෙවැනි බාධාවන් ඇති වීම වළක්වා ගැනීම සඳහා බෙදාහැරීමේ ආයතන සමඟ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට හා සේවාවේ විනිවිදභාවය වර්ධනයට කටයුතු කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවට සමාගම නැවතත් තහවුරු කළේය. නිල දැනුම්දීම් හරහා ලැබෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, සහය සඳහා බලයලත් සහකාර පාර්ශව පමණක් සම්බන්ධ කරගන්නා ලෙසත් සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පැතිර යන වැරදි තොරතුරු සැලකිල්ලට ගෙන, සාවද්‍ය නිගමනවලට එළඹීමට පෙර, එම සමාජ මාධ්‍ය පළ කිරීම්වල ඇති නිරවද්‍යභාවය පිළිබඳ විමසිලිමත් වන ලෙස ද සමාගම ජනතාවට නිවේදනය කරයි.
Video Story