TotalEnergies Marketing India සහ Energy Core Lanka ශ්‍රී ලංකාව තුළ ලිහිසි තෙල් කර්මාන්තයේ නව පරිච්ඡේදයකට මුලපුරයි

    December, 9, 2025

    උසස් තත්වයේ ලිහිසි තෙල් නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දීමේ අරමුණින් TotalEnergies Marketing India Private Limited (TEMIPL) සිය බලයලත් බෙදාහැරීමේ  නියෝජිතයා ලෙස පත් වූ  Energy Core Lanka (Pvt) Ltd සමාගම සමඟ නව ගමනක ආරම්භය සනිටුහන් කරන ලදී. මෙමඟින් ලිහිසි තෙල් ආශ්‍රිත නවෝත්පාදන සහ ගෝලීය විශේෂඥතාව තුළින් අදාළ ක්ෂේත්‍රවල මෙහෙයුම් විශිෂ්ටතාවයන් ඉහළ නැංවීමට මනා දායකත්වයක් සපයනු ඇත.

    ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන මෙම ලොව පිළිගත් TotalEnergies ලිහිසි තෙල්,  රථ වාහන සහ කාර්මික ලිහිසි තෙල් නිෂ්පාදන, අදාළ ක්ෂේත්‍රයන්හි ලොව ප්‍රමුඛ මුල් උපාංග නිෂ්පාදකයන් (OEMs) විසින් නිර්දේශ කර ඇත. නව තාක්ෂණයෙන් සහ ගෝලීය හවුල්කාරිත්වයෙන් බලගැන්වෙන TotalEnergies ලිහිසි තෙල් නිෂ්පාදන ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වන අතර, විශ්වාසනීයව රථ වාහන එන්ජින් සහ කාර්මික යන්ත්‍ර සුත්‍රවලට ආරක්ෂාවත් ලබා දෙයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් TEMIPL හි රථවාහන ලිහිසි තෙල් අංශයේ ප්‍රධාන විධායක නිලධාරී, විකේන් නජාරියන් මහතා, මෙසේ පැවසීය: "ශ්‍රී ලංකා වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, තාක්ෂණයෙන් පිරිපුන් ලිහිසි තෙල් සඳහා දැඩි ඉල්ලුමක් පවති. TotalEnergies සැම විටම නවෝත්පාදනය සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සඳහා කැපවී සිටී. Energy Core Lanka Pvt Ltd සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය මඟින් අපගේ උසස් ලිහිසි තෙල් විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, කාර්මික පාරිභෝගිකයින්ට සහ වාහන භාවිතා කරන්නන්ට වැඩි කාර්යක්ෂමතාවයක් සහ විශ්වසනීයත්වයක් ලබා දීමටත් අපට හැකි වේ."

    Energy Core Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ, දිමිත්‍රි ෂෙරිෆ් මහතා, මෙසේ අදහස් දැක්වීය: "රටවල් 130කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන ගෝලීය බලශක්ති කර්මාන්තයේ දැවැන්ත සන්නාමයක් වන TotalEnergies සමඟ හවුල් වීමට ලැබීම අපි ලැබූ ගෞරවයක් බව දැනුම්දීමට කැමතියි. ප්‍රමුඛ පෙළේ රථවාහන, කාර්මික සහ නාවික නිෂ්පාදකයින් විසින් විශ්වාස කරන OEM නිර්දේශ ලත් ලිහිසි තෙල් නිෂ්පාදන සමූහයක් ඇත්තේ ලොව සන්නාම කිහිපයකට පමණි. මෙම හවුල්කාරිත්වය හරහා, ශ්‍රී ලංකාවේ රථවාහන සහ කාර්මික අංශයට එම ගෝලීය ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් ලබා දීම අපගේ අරමුණයි.