WealthTrust Securities කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට සිට ඇරඹෙයි

    January, 6, 2026

    WealthTrust Securities Limited (WTS) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් හෙට සිට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට නියමිතය.

    2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් වූ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 71,548,244ක් ඉදිරිපත් කෙරිණි. රුපියල් මිලියන 500.8ක ප්‍රාග්ධනයක් රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම නිකුතුව විවෘත කර මිනිත්තු කිහිපයක් ඇතුළත සියලුම ආයෝජක කාණ්ඩ යටතේ අධි-දායකත්වයක් (Oversubscribed) ලැබීම විශේෂත්වයකි.සමස්තයක් ලෙස මෙම නිකුතුව සඳහා අයදුම්පත් 10,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර, එය අපේක්ෂිත ප්‍රමාණය මෙන් 14.9 ගුණයක දැවැන්ත ඉල්ලුමක් වාර්තා කිරීමට සමත් විය.

    මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස්කරගත් අරමුදල් WealthTrust Securities සමාගමේ මූලික ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනේ. එමඟින් වෙළඳපොළ සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරන අතර, රජයේ සුරැකුම්පත් වෙළඳාම් කළඹ (Trading Portfolio) පුළුල් කිරීමටද සහාය වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙකු වන WealthTrust Securities සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍රලාභී ණය සුරැකුම්පත් තැරැව්කාර සහ අලෙවි නියෝජිත ආයතනයක් ලෙසද කටයුතු කරයි. රජයේ සුරැකුම්පත් වෙළඳාම් කිරීම, බෙදා හැරීම සහ වෙළඳපොළ නිර්මාණය කිරීමේ සේවාවන් සපයමින් සමාගම මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි.

    දිරි සවි පුවරුවේ මෙලෙස ලැයිස්තුගත වීම WealthTrust Securities සමාගමේ වර්ධන ගමන්මඟේ තීරණාත්මක පියවරක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද කොටස් වෙළඳපොළ තුළ සමාගමේ කොටස් ගනුදෙනු කිරීමට ආයෝජකයින්ට අවස්ථාව උදා වේ.