WealthTrust Securities හි මූලික මහජන කොටස් නිකුතුව හෙට විවෘත කරයි

    December, 17, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ආයෝජන අවස්ථා පුළුල් කරමින්, WealthTrust Securities Limited (WTS) හි මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering - IPO) හෙට දින එනම් දෙසැම්බර් 17 විවෘත කිරීමට නියමිතය.

    WTS සමාගම විසින් සාමාන්‍ය ඡන්ද බලය සහිත කොටස් 71,548,244 ක්, එක් කොටසක් සඳහා රුපියල් 7.00 ක නිකුතු මිලකට මහජනතාවට අත්සන් තැබීම සඳහා ආරාධනා කර ඇත. මෙම නිකුතුව හරහා සමාගම අපේක්ෂා කරන්නේ රුපියල් 500,837,708 ක මුළු මුදලක් රැස් කිරීමට වන අතර, මෙම කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ 'දිරි සවි' පුවරුවේ ලැයිස්තුගත කිරීමට සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙක් මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් බලපත්‍රලත් ණය කොටස් තැරැව්කරුවෙකු ලෙස WTS ද්විත්ව බලපත්‍රයක් දරයි.

    මෙම මූලික මහජන කොටස් නිකුතුව   මඟින් රැස්කරන ලද අරමුදල්, සමාගමේ ප්‍රධාන ප්‍රාග්ධන සංචිතය (core capital buffer) තවදුරටත් ශක්තිමත් කිරීමටත්, රජයේ සුරැකුම්පත්වල එහි ආයෝජන හා වෙළෙඳ කොටස් පුළුල් කිරීමටත් යොදා ගැනීමට නියමිතය. මෙම ව්‍යූහාත්මක පියවර මඟින් වෙළෙඳපොළ සහ පොලී අනුපාත අවදානම කළමනාකරණය කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර,සමාගමේ දිගුකාලීන දියුණුවට ද සහාය වනු ඇත.

    මෙම නිකුතුවේ කළමනාකරු සහ මූල්‍ය උපදේශක ලෙස Asia Securities Advisors (Private) Limited කටයුතු කරයි.

    සමාගම විසින් නිකුත් කර ඇති  සංස්ථා ප්‍රකාශයේ (prospectus) දක්වා ඇති ඇගයීම් මිණුම් සලකුණු (valuation benchmarks) වලට වඩා වට්ටමක් යටතේ කොටස් නිකුත් කිරීමේ මිල නියම කර තිබීම විශේෂත්වයකි. මනා ලෙස ස්ථානගත කරන ලද ප්‍රාග්ධන වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීම්වල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පුළුල් ආයෝජක උනන්දුව සමග, WTS සමාගම ධනාත්මක ආකල්පයකින් සහ අපේක්ෂිත ආයෝජකයින් අතර දැඩි අපේක්ෂාවකින් යුතුව එහි සමාරම්භක දිනයට පිවිසෙන බව වාර්තා වේ.