July, 11, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ගුවන් භාණ්ඩ අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජර්මනියේ මියුනිච් හි Messe München හිදී පැවති air cargo Europe වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවති World Air Cargo Awards 2025 හිදී ආසියාවේ වසරේ ගුවන් සේවය (Airline of the Year – Asia) සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්විය. නාමයෝජනා ජාත්‍යන්තර ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද අතර, අවසන් වටයේ තේරීම් විවෘත ඡන්දයකින් තීරණය විය. World Air Cargo Awards යනු ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳව ඉහළ ඇගයීමක් වන අතර, ශ්‍රීලංකන් කාගෝ ආසියාවේ හොඳම ගුවන් භාණ්ඩ සේවාවන්ගෙන් එකක් ලෙස සිය ස්ථානය තහවුරු කළේය.
“මෙය ශ්‍රීලංකන් කාගෝ සඳහා සුවිශේෂී ජයග්‍රහණයකි. අපගේ සේවා ප්‍රමිතීන් පිළිබඳ කර්මාන්ත ප්‍රමුඛයන්ගේ ඇති විශ්වාසය මෙයින් පැහැදිලි වේ. විශ්වසනීය ගුවන් භාණ්ඩ සේවාවන් සැපයීම වෙනුවෙන් සිදුකරන අපගේ කැපවීම අගය කිරීමක් ලෙසද මෙය සැලකේ. ලොව නැගෙනහිර සහ බටහිර යාකරමින් විශ්වසනීය කාර්යක්ෂම ගුවන් භාණ්ඩ සේවාවන් සැපයීම සඳහා අපි ඉදිරියටත් සෑම පියවරක්ම ගන්නෙමු.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.
ගුවන් භාණ්ඩ මෙහෙයුම් අනුව, ශ්‍රීලංකන් කාගෝ 93%ක රැගෙන යාහැකි සහතික කළ භාණ්ඩ ප්‍රමාණයක් පවත්වා ගන්නා අතර, ගුවන් යානා අතර හුවමාරු භාණ්ඩ සඳහා විනාඩි 40ක් තරම් කෙටි සම්බන්ධතා වේලාවක් සහ ඉක්මන් බෙදාහැරීම් ජාලය සමඟින් බාධාවකින් තොරව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සහතික කරයි. ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඔස්සේ ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීම් සඳහා ඉක්මන් ප්‍රවේශය ලබා දෙමින් පාරිභෝගිකයන් වෙත බාධාවකින් තොර වඩාත් පහසු සහ ගුණාත්මක සේවයක් ලබා දීමට ශ්‍රීලංකන් කාගෝ කැප වී ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එකම ගුවන් භාණ්ඩ හසුරුවන්නා ලෙස, ආරක්ෂාව සහ නීති රීතිවලට අනුකූලව මෙහෙයුම් සිදුකිරීම ශ්‍රීලංකන් කාගෝ හි ප්‍රමුඛතාවය වන අතර IATA Operational Safety Audit (IOSA), IATA Safety Audit for Ground Operations (ISAGO) සහ IATA CEIV Lithium Batteries යන සහතික ඇතුළු ප්‍රමුඛ නියාමන සහතික ලබාගෙන ඇත.
ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. රටවල් 21 ක ගමනාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතු ය. තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ. වැඩිදුර තොරතුරු සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.
Video Story