Zone24x7 සමාගම උසස් තාක්ෂණ සහ නවෝත්පාදන නිෂ්පාදන සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

    September, 8, 2016

    Zone24x7 සමාගම 2014/15 වසර සඳහා වන ජනාධිපති සම්මාන උළෙලේදී උසස් තාක්ෂණ සහ නවෝත්පාදන නිෂ්පාදන සඳහා ජනාධ්හිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. අපනයන සංවර්ධන මණ්ඩලය (EBD) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. Zone24x7 සමාගම ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් එම සමාගමට ජනාධිපති සම්මානය පිරිනැමිණි.

    ගෝලීය වෙළඳපල සඳහා නවෝත්පාදන නිෂ්පාදන ගොඩනැගීමේ ප්‍රමුඛයා බව තවදුරටත් පසක් කරමින් එම සමාගම 2014 සහ 2015 යන වසර දෙකම සඳහා මෙම සම්මානය හිමිකර ගැනීම කැපී පෙනුනි.

    2003 වසරේදී ස්ථාපනය කරන ලද Zone24x7 Inc. සමාගම ගෝලීය සේවාලාභීන් හට පරිපූර්ණ නව්‍යකරණ විසඳුම් ලබා දෙන සමාගමකි. එහි ප්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් වැලීහි පිහිටා ඇති අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් Zone24x7 (Pvt) Ltd උසස් තාක්ෂණ මධ්‍යස්ථානය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ඇත.

    Zone24x7 (Pvt) Ltd යනු Zone24x7 Inc. සමාගමේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක අනු සමාගමකි. නවෝත්පාදන සේවා, ක්ෂුද්‍ර පරිගණක පද්ධති සහ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු ආදී ක්ෂේත්‍රයන් තුළ උසස් ම පර්යේෂණ සහ සංවර්ධන ක්‍රමෝපායන්ට ප්‍රමුඛස්ථානය ලබා දීමට සමාගම සැම විට කැප වෙයි.

    ලාවන් ප්‍රනාන්දු මහතා Zone24x7 සමාගමේ ප්‍රාරම්භකයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වෙයි. ඔහු ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ (SLASSCOM) උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරයි. Zone24x7 සමාගම ලොව ප්‍රධානත ම ඇඟලුම් අලෙවි ජාල තුනෙන් දෙකක නව්‍යකරණ සහකරු ලෙස කටයුතු කරයි. එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපයේ අලෙවි ජාල සහ උසස්-තාක්ෂණ කර්මාන්ත සඳහා මූලික වශයෙන් සිය විශේෂඥ සේවා ලබා දෙයි.

    පසුගිය වසර දහයකට අධික කාලයක පටන් Zone24x7 සමාගම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 2013 වසරේදී ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBQSA) පර්යේෂණ සහ සංවර්ධන අංශයෙන් රිදී සම්මානය ද, ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සංධාන (APICTA) සම්මාන උළෙලේදී පර්යේෂණ සහ සංවර්ධන අංශයෙන් කුසලතා සම්මානය ද එම සමාගම හිමිකර ගත්තේය.

    එමෙන්ම, 2015 වසරේදී NBQSA සම්මාන උළෙලේදී සමස්ත ජයග්‍රාහකයා ලෙස පර්යේෂණ සහ සංවර්ධන ඛාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගත් Zone24x7 සමාගම එම වසරේදී ම APICTA සම්මාන උළෙලේදී පර්යේෂණ සහ සංවර්ධන ඛාණ්ඩයේ සමස්ත ජයග්‍රාහකයා බවට ද පත් විය. දශකයකට අධික අත්දැකීම් සම්භාරය සමගින් අලෙවි සහ උසස් තාක්ෂණ යන අංශ දෙකම නියෝජනය කරන Fortune 1000 සමාගම් සඳහා සේවා ලබා දීමෙන් Zone24x7 සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.

    සේයා රූ සටහන : ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2014 සහ 2015 වසර සඳහා Zone24x7 සමාගමට සම්මාන දෙකක්