ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හිමිකම් කොටස් නිකුතුව අතිසාර්ථකයි

    October, 11, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිදුකරනු ලැබූ හිමිකම් කොටස් නිකුතුව (Rights Issue) සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම් අද (11) දිනයේ දී නිවේදනය කර සිටියේය.

    මූලික වශයෙන් කොටස් මිලියන 150 ක්, එකක් රු. 160 බැගින් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර රු. බිලියන 24 ක ප්‍රාග්ධනයක් ඒ හරහා සම්පාදනය කරගැනීමට සැලසුම් කර තිබුණි.

    මේ අතර අද (11) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරන්නේ කොටස් මිලියන 171.41 ක් සඳහා දායකත්වයක් ලැබී ඇති බවත් එහි වටිනාකම රු. බිලියන 27.42 ක් බවත්ය.

    මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගනු ලබන මෙම අරමුදල් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Waterfront Properties (Private) Limited හි ව්‍යාපෘති මූල්‍යකරණය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය. Waterfront Properties (Private) Limited යනු මෙරට සමාගමක් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම ව්‍යාපෘතය වන ‘City of Dreams Sri Lanka’ හි සංවර්ධක සමාගමයි.

    මෙම හිමිකම් කොටස් නිකුතුවෙන් පසු කොටස් අනුබෙදුමක් සිදුකිරීමට ද සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

    එහිදී දැනට පවතින සෑම එක් කොටසක්ම කොටස් 10 කට බෙදෙන අතර මේ හරහා සමාගමේ දැනට පවතින කොටස් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යනු ඇත. එලෙස කොටස් ප්‍රමාණය ඉහළ යාම හරහා සමාගමේ කොටස් ප්‍රාග්ධනයට කිසිදු ආකාරයේ බලපෑමක් ඇති නොවේ.

    මෙය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුකරෙුණු විශාලතම හිමිකම් කොටස් නිකුතුව ලෙසින් සැලකේ.