
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස ප්‍රකට සෙලාන් බැංකුව, සිය ප්‍රමුඛතම තිරසාරත්ව වැඩසටහනක් වන 'පැහැසර' පුස්තකාල ව්‍යාපෘතියේ 300 වැනි පුස්තකාලය 2026 නොවැම්බර් 10 වැනිදා පිළියන්දල, කො/ධර්මරාජ මහා විද්‍යාලයේදී විවෘත කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
පුස්තකාල 300ක සන්ධිස්ථානය කරා ළඟා වීම, ශ්‍රී ලංකාව පුරා සිසුන්ගේ අධ්‍යාපනික යටිතල පහසුකම් ශක්තිමත් කරමින්, දැනුම වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා බැංකුව දීර්ඝ කාලයක් පුරා ගෙන යන වැඩපිළිවෙළෙහි ඓතිහාසික සන්ධිස්ථානයකි. 2013 වසරේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයෙන් සිය පළමු පුස්තකාලය ආරම්භ කළ 'පැහැසර' වැඩසටහන, මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්ත වී තිබේ. ඒ ඔස්සේ පාසල් වෙත අත්‍යවශ්‍ය අධ්‍යාපනික සම්පත් ලබා දෙමින්, සිසුන්ට ගවේෂණය කිරීමටත්, ඉගෙනීමටත්, සිය දැනුම වර්ධනය කර ගැනීමටත් හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත.
අලුතින් ස්ථාපිත කරන ලද මෙම පුස්තකාලය පොත්පත් සහ ස්මාර්ට් පුවරුවකින් සමන්විත වූ අතර, එමඟින් සිසුන්ට සිය අධ්‍යාපනික ගමන්මඟට සහාය වන නවීන ඉගෙනුම් ද්‍රව්‍ය සහ ඩිජිටල් සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ.
මෙම සුවිශේෂී 300 වැනි පුස්තකාල විවෘත කිරීම සැමරීම වෙනුවෙන් පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් උද්යෝගිමත් ‘පැහැසර සතියක්’ ද සංවිධානය කෙරිණි. එහිදී සුහද වොලිබෝල් තරගයක්, චිත්‍ර තරගයක්, කථික තරගයක් මෙන්ම සිසුන්ගේ අත්‍යවශ්‍ය ජීවන කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසි ද සංවිධානය කෙරිණි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානයට සමගාමීව සෙලාන් බැංකුව සිය දිවයින පුරා විහිදුණු සේවක ජාලය සම්බන්ධ කරගනිමින් විශේෂ පොත් පරිත්‍යාග වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය. ඒ අනුව දිවයින පුරා පිහිටි බැංකු ශාඛා සහ ආයතනික දෙපාර්තමේන්තු මෙම වැඩසටහනට සම්බන්ධ කරගනිමින් සේවක මහත්ම මහත්මීහු නව පොත්පත් මෙන්ම ඉතා හොඳ තත්ත්වයේ පවතින, මීට පෙර භාවිත කළ පොත්පත් ද උනන්දුවෙන් එකතු කර පරිත්‍යාග කළහ. එම පොත්පත් දිවයින පුරා පිහිටි වැඩිදුර අවශ්‍යතා සහිත 'පැහැසර' පුස්තකාල වෙත බෙදාදීමට නියමිතය.
මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෙලාන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා සහභාගී වූ අතර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඊට එක්විය. සෙලාන් බැංකුව නියෝජනය කරමින් පැමිණි මෙම නිලධාරීන්ට අමතරව පිළියන්දල කො/ධර්මරාජ මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එල්. ඒ. පී. සමරවික්‍රම මහතා, පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදු හේමමාලි මහත්මිය, පාසල් පරිපාලනයේ සාමාජිකයන්, ගුරුවරුන්, සිසුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් සහකාර සාමාන්‍යාධිකාරී ආසිරි අභයරත්න මහතා මෙසේ පැවසීය.
“අපගේ 300 වැනි 'පැහැසර' පුස්තකාලය විවෘත කිරීම සෙලාන් බැංකුවට අතිශය අභිමානවත් මෙන්ම මහත් සතුටක් ගෙන දෙන අවස්ථාවක්. 2013 වසරේ අනුරාධපුරයේදී අපගේ පළමු පුස්තකාලය විවෘත කළ දා සිට, අපගේ තිරසාරත්ව මෙහෙවර මෙහෙයවනු ලැබුවේ රට පුරා සිටින අවශ්‍යතා සහිත සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ එකම සමාජීය අරමුණ මතයි. මෙම ගමනේදී අප සමඟ අත්වැල් බැඳගත් අධ්‍යාපන අමාත්‍යාංශයට, කලාප අධ්‍යාපන බලධාරීන්ට මෙන්ම 'පැහැසර' පාසල් 300හිම විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ සිසුන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා. පුස්තකාල 300ක සන්ධිස්ථානයට ළඟාවීම අපි මහත් අභිමානයෙන් සමරන ජයග්‍රහණයක් වුවත්, අපගේ දරුවන්ගේ සහ ඔවුන්ගේ ප්රජාවන්ගේ ජීවිත තුළ ඇති කරන දිගුකාලීන, යහපත් වෙනස අපට ලැබෙන වටිනාම ප්‍රතිලාභයයි.”
'පැහැසර' වැඩසටහන සෙලාන් බැංකුවේ සමාජ තිරසාරත්ව න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අධ්‍යාපනය ඔස්සේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා බැංකුව තුළ ඇති දිගුකාලීන කැපවීම එමඟින් පිළිබිඹු වේ. නවීන පුස්තකාල පහසුකම්, පොත්පත් සහ ඩිජිටල් මෙවලම් ලබාදෙමින් පාසල් සවිබල ගැන්වීම තුළින් අනාගත පරපුරේ දැනුම, සාරධර්ම සහ අභිලාෂයන් වෙනුවෙන් බැංකුව අඛණ්ඩව ආයෝජනය කරයි. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් සහ සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැඟීමට දායක වේ.


















