ඊයේ කෝටි 2,227 ක සල්ලි අච්චු ගහලා

    March, 15, 2022

    ඊයේ (14) දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ලෙසින් සටහන්ව ඇත.

    කෙසේ වෙතත් මෙම ප්‍රමාණය පසුගිය සිකුරාදා (මාර්තු 11) සටහන්ව තිබුණේ රු. බිලියන 1,521.69 ක් ලෙසිනි.

    මේ අනුව ඊයේ (14) දිනය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27 කින් වැඩි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

    රු. බිලියන 22.27 ක් යනු රු. කෝටි 2,227 ක ප්‍රමාණයකි.

    මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27 ක හෙවත් රු. කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහැර ඇති බවයි.

    මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම සඳහා “මුදල් අච්චු ගැසීම“ යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ මුදල් සංචිත ලෙසය.

    මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහාකාර අධිපතිවරියක වූ ස්වරණා ගුණරත්න විසින් 2018 වසරේ දී පළ කර තිබෙන 'මහ බැංකුව මුදල් අච්චුගසන්නේ නිසි පාලනයක් ඇතිව ද?' යන ලිපියේ මෙසේ සඳහන් වේ. "ලෝකයේ රටවල්වලින් ‌බොහොමයක මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ඒම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේ ද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුවට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි."

    මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි. රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය. ඒසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී ඒහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ. එබැවින් ඊයේ (14) දිනයේ දී සිදු වී ඇත්තේ ද ඒවැන්නකි.

    රටක මහ බැංකුවක් විසින් 'මුදල් අච්චු ගැසීම' යනු හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් නොවනබව සිහිතබා ගත යුතුය.