උකස් ණය වැඩිවෙලා තිබෙන්නේ රු. බිලියන 27 කින් පමණයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් පැහැදිලි කිරීමක්

    November, 12, 2020

    ජනතාව උකස් හරහා රු . බිලියන 643 ක් මෙම වසර තුළ දී ලබා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය වැරදි ඉලක්කමක් බවත් මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට මෙරට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 237 ක් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම මාස 09 තුළ දී උකස් හරහා ලබා දී ඇති ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රු. බිලියන 27 කින් පමණක් බවයි.

    “මම මහ බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. මට ඒ අය පැහැදිලි ලෙසම කිව්වේ 2019 දෙසැම්බර් මාසයේ අග වෙන කොට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සියලුම ණය රු. බිලියන 210 යි. සැප්තැම්බර් මාසයේ අග වෙන කොට ඒ ප්‍රමාණය බිලියන 237 යි. එහෙනං වැඩිවෙලා තියෙන්නේ බිලියන 27 යි.“

    “ක්‍රෙඩිට් කාඩ් සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසය අග වෙන කොට බිලියන 131 යි. සැප්තැම්බර් මාසයේ 30 වෙනකොට බිලියන 126 යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩුවෙලා තියෙනවා.“