ක්‍රෙඩිට් කාඩ්වල හිර වෙලාද? – නිල දත්ත මෙන්න

    November, 16, 2020

    • සමස්ත හිඟ ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ දී රු. මිලියන 566කින් අඩුවෙලා

    ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ පවතින සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,884,341 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙයින් 17,672 ක් දේශීය ගනුදෙනු සඳහා පමණක් භාවිත කළ හැකි ඒවා වන අතර 1,866,669 ක් ගෝලීය වශයෙන් භාවිත කළ හැකි ඒවා වේ.

    2019 වසර අවසානයේ දී මෙරට සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,829,927 කි. මේ අනුව ඒය 2020 මුල් මාස 09 තුළ දී 54,414 කින් ඉහළ ගොස් තිබේ. එසේම 2020 සැප්තැම්බර් මාසය තුළ දී 13,514කින් මෙකී ප්‍රමාණය වැඩි වී ඇත.

    මේ අතර 2020 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී සියලු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු මුදල රු. බිලියන 117.53 ක් වශයෙන් වාර්තා වේ. 2019 වසර අවසානය වන විට මෙම අගය රු. බිලියන 121.48 ක් වශයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව 2020 වසරේ මෙම මාස 09 තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු සමස්ත හිඟ මුදල් ප්‍රමාණය රු. බිලියන 3.95 කින් අඩුවී තිබීම විශේෂත්වයකි. එසේම මෙම හිඟ ප්‍රමාණය 2020 සැප්තැම්බර් මාසය තුළ දී අගෝස්තු මාසයට සාපේක්ෂව රු. මිලියන 566 කින් අඩු වී තිබේ.