කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

    April, 8, 2024

    අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබිණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.53 ක හෙවත් 1.06% ක් වර්ධනයක් අත්පත් කර ගැනීම කැපීපෙනුනි.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,920.00 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 62.17 කින් හෙවත් 1.79% කින් ඉහළ ගොස් ඒකක 3,543.71 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, NDB බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ ලංකා IOC යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්විය.

    රු. බිලියන 3.20 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා සම්පත් බැංකුව (රු. මිලියන 432), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 207), කොමර්ෂල් බැංකුව (රු. මිලියන 167) සහ හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 150) යන සමාගම්වලින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    මීට අමතරව ගිවිසාගනු ලැබූ ගනුදෙනුවලින් සම්පත් බැංකුව (රු. මිලියන 243) දෛනික පිරිවැටුමට කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.

    අද දිනයේ දී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.92 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.02 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 277 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 173 ක් ලෙසින් සටහන් වී තිබේ.