ඩොලරයට පාලන මිලක් දාලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ – හර්ෂ

    February, 24, 2022

    පසුගිය 2021 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ගලා ආ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 825 සිට ඩොලර් මිලියන 315 ක් දක්වා අඩු වී ඇති බවත්, ඩොලරයට රු. 200ක පාලන මිලක් දමා තිබීම ඊට හේතුව බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ‘අලුත් පාර්ලිමේන්තුව‘ සජීවී සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    කෙටි කාලීනව ඩොලර් නැති ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනේ. ඇයි දැන් ඩොලර් එන්නේ නැත්තේ? දැන් එන ඩොලරුත් නැවතිලා.

    දැන් සාමාන්‍යයෙන් ප්‍රේෂණ එන ප්‍රමාණයෙන් සියයට 40 ක් වගේ ප්‍රමාණයක් තමයි 2021 දෙසැම්බර් මාසයේ දී ලැබුණේ. 2021 ඩොලර් මිලියන 315 යි. 2020 දෙසැම්බර් මාසයේ ලැබුණා ඩොලර් මිලියන 825 ක්. ඇයි ඒ?

    ඒකට හේතුව තමයි රජය විසින් දේශපාලනික වශයෙන් තීරණය කරපු රුපියල් 200ක පාලන මිලක් ඩොලරයට දැමීම.

    ඩොලරයට පාලන මිලක් දාලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඩොලර් එන්නේ නැත්තේ ඒකයි.

    උදාහරණයක් විදියට ඒ අයට උන්ඩියල් ක්‍රමයට ඩොලර් එකට රුපියල් 257 ක් අද ලැබෙනවා නම්, කවුද රු. 200 ට ඩොලර් එවන්නේ.

    මේ තීරණයත් එක්ක ඩොලර් කෙටිකාලීනව ලබාගැනීමේ ප්‍රශ්නයට පිළිතුරක් තිබෙනවාද? එහෙම නැත්නම් ප්‍රශ්නේ තවදුරටත් බැරෑරුම් වෙනවාද?

    මම දකින විදියට ප්‍රශ්නය තවදුරටත් බැරෑරුම් වෙනවා.