තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

    June, 7, 2023

    තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවයි. අද (07) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

    පැවැති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු ක්‍රියාත්මක කළේ ය. බහුතර ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ගනු ලැබූ මෙම තීන්දු තීරණයවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තව දුරටත් අපහසුතාවට පත් වූහ. නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සේම ආයනය සීමා ඉහළ නැවීමට රජය පියවර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නැංවා ගැනීම සේම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි.

    රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතී. විදේශ ප්‍රේෂණ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. 2022 වසරේ අප්‍රේල් මාසය තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 24.9ක් වූ අතර මෙම වසරේ එම කාලය තුළ පමණක් ඩොලර් මිලියන 45.4ක් විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබි තිබේ. රුපියල් 20%කින් පමණ අධිප්‍රමාණය විය. උද්ධමනය 70% සිට 25.5% දක්වා අඩු වී තිබේ. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇත. බැංකු පොලී අනුපාත ද 2.5%කින් පමණ පහළ දමා තිබේ. මේ සියල්ලේ ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතින අවස්ථාවක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයට ද සිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි අමාතවරයා සඳහන් කළේ.

    මේ අතර සුරා බදු නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් අද පුවත්පත් වාර්තා කර තිබිණි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස තමන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළ බවයි. අවශ්‍ය නම් ඊට පෙර විනය ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අදාළ වාර්තාවට තොරතුරු ඇතුළත් කරන ලෙස ද තමන් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.