දිගින් දිගටම කඩා වැටුණු කොටස් වෙළෙඳපොළෙන් අද සුපිරි වාර්තාවක්

    February, 25, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත වර්ධනයක් අද (25) දිනයේ දී දැකගත හැකි විය.

    පසුගිය දින කිහිපය පුරාවටම දිගින් දිගටම පහළ බසින ප්‍රවණතාවක් දක්නට ලැබුණු කොටස් වෙළෙඳපොළ, අද දින ඉහළ ගියේ වාර්තාවක් ද සමඟින් වීම විශේෂත්වයකි. එනම් තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒකක ප්‍රමාණය වාර්තා කරමිනි.

    අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 450.85 කින් ඉහළ ගිය අතර එය මෙතෙක් ඉහළම අගය ලෙස වාර්තා වී තිබූ, මෙම වසරේ දී ජනවාරි 03 දින සිදුවූ ඒකක 399.81 කින් සියලු කොටස් මිල දර්ශකයේ වැඩිවීම ඉක්මවා යාමක් වේ. ඒ අනුව දිනය අවසානයේ දී සියුල කොටස් මිල දර්ශකය ඒකක 11,107.90 ක් ලෙසින් සටහන් විය.

    S&P SL20 දර්ශකය ඒකක 166.98 කින් ඉහළ ගොස් ඒකක 3,751.56 ක් ලෙසින් වාර්තා වුණි.

    අද දින රු. බිලියන 4.20 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී තිබුණි.

    සමාගම් 203 ක කොටස් මිල ඊයේ දිනට සාපේක්ෂව අද දින ඉහළ ගොස් තිබීම විශේෂ සිදුවීමකි.