දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක් – ජනපති අවධාරණය කරයි

    April, 3, 2019

    රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.

    එබැවින් ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ එකතුවක් රටට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව එහි නවෝත්පාදන නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය මඟින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන අතර එය අද දිනයේ දීද සිරිමාවෝ බණ්ඩරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශයේ දී පැවැත් වේ.

    විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින අතරල ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශි කරමින් “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ශ්‍රී ජයවර්ධනපුර විශිවවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් දල විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතා ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “INNOVATE SRI LANKA 2019” ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ කතාව

    2019.04.02 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී

    අපි නවෝත්පාදන ආර්ථිකය වගේම කුසලතා, නිර්මාණශිලී භාවය, හැකියාවන්, දක්ෂතාවන් යන විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව කතා කරනවා. ඒ වගේම ඒ පිළිබඳ ව අපි ඉතාමත් සතුටු වෙනවා. විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය තුළ අපේ දරුවන් ජාතිය ජයගන්න පමණක් නොවෙයි ලෝකය ජයගන්න, ජාත්‍යන්තරය ජයගන්න ඔවුන්ගේ දක්ෂකම් හැකියාවන් පෙන්වනවා.

    අපේ රටේ නිදහස් අධ්‍යාපනයත් සමග විශ්වවිද්‍යාලවලින් බිහිවන විශිෂ්ටයන් ජාතියේ අනාගතය සඳහා සිය හැකියාවන් සමග පෙන්වන දක්ෂතාවන් ලෝකයේ තවත් රටවල උගතුන්ට, විද්වතුන්ට දෙවෙනි වන්නේ නැහැ. උගත්කම, ප‍්‍රඥාව, ඥානය දැනුම අපට අපේ උරුමයෙන් ලැබුණු දෙයක්. අද තාක්ෂණය කොතරම් දියුණු මට්ටමක පැවැතුණත් එයට එදා අනුරාධපුර, පොළොන්නරු යුගවල පැවැති තාක්ෂණය, ශාස්ත‍්‍රීය දියුණුව, කලාව පරාජය කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මහා ශ්‍රේෂ්ඨ විශිෂ්ට ජාතියක් විදියට ඒ ඉතිහාසයේ උතුම් අනභිභවනීය විශිෂ්ටත්වය සැමවිටම සිහිපත් කරන්න ඕනෑ. එදා අපේ රට හැම අතින්ම ඉහළම දියුණුවක් ලබා තිබුණා. අද ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් ඒ කාලේ මහා වනාන්තර. බටහිර ඇමරිකාව, කැනඩාව වැනි රටවල් මහා ඝන වනාන්තර. විශේෂයෙන්ම එදා ඇමරිකාවේ රතු ඉන්දියානුවන් සමග බලය සඳහා තිබුණු සටන ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

    අපේ රටේ ආර්ථිකය සහ සමාජ පරිසරය පිළිබඳව සතුටු විය හැකි වගේම සතුටු විය නොහැකි දේ තිබෙනවා. මා නිතරම සඳහන් කරන ආකාරයට විශ්වවිද්‍යාලවල විද්වතුන් උගතුන් මීට වඩා රටේ තිබෙන බොහෝ දේ පිළිබඳව විවෘත භාවයකින් යුතු ව සමාජයට එක්වන්න ඕනෑ. ඔබේ හැකියාව, දක්ෂතාව, පරිණත භාවය, බහුශ‍්‍රැත භාවය එක්තරා ආකාරයකින් විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වී තිබෙන බවයි මට පෙනෙන්න තිබෙන්නේ. නමුත් මේ රට යහපත් රටක් විදියට ගොඩනඟන්න, ආර්ථික වශයෙන් ජයග‍්‍රහණය කරන්න, තාක්ෂණයෙන්, විද්‍යාවෙන් තව දියුණු වෙන්න ඉස්සරහට යන්න දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා විද්වතුන්ගේ කාර්යය වඩාත් වැදගත් වෙනවයි කියලයි මා විශ්වාස කරන්නේ.

    අපි නවෝත්පාදන ආර්ථිකය පිළිබඳව කතා කරනවා. හරිත ආර්ථිකය පිළිබඳව කතා කරනවා. නීල ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. නවෝත්පාදනයට යොමු වීම කාලානුරූපව යුගයේ අවශ්‍යතාවක්. තාක්ෂණය ආදි මේ සියලු දේ සමග වේගයෙන් ඉදිරියට යන සමාජයක් ඉතාමත් අවශ්‍ය වනවා. භෞතික වශයෙන් ලබන මේ දියුණුව වගේ ම මිනිසුන් විදියට මිනිසුන්ට ආදරය කරන, රටට ආදරය කරන මිනිස්සු අවශ්‍ය වෙනවා. මනුසත්කම තාක්ෂණයට යට කරන්න හොඳ නැහැ. සෑමවිටම මනුසත්කම තිබිය යුත්තේ තාක්ෂණයට ඉහළිනු යි. විද්‍යාව තාක්ෂණය හදාරලා විද්වතුන් වෙනවා වගේ ම ඒ සෑම කෙනෙක්ම සාහිත්‍ය, කලාව, ඉතිහාසය වැනි ක්ෂේත‍්‍ර හැදෑරීම ඉතාමත් අවශ්‍ය යි කියල යි මම විශ්වාස කරන්නේ. සාහිත්‍ය, කලාව, ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් නොකරන අය ගේ ආදරණීය බව හරිම අඩු යි.

    රටක දියුණුව සඳහා අපට තාක්ෂණයෙන් ඉදිරියට යන්න, තාක්ෂණික ලෝකය ජයගන්න, අධි තාක්ෂණයත් සමග බද්ධ වීම අවශ්‍ය යි වගේම ඒ දැනුමත් සමග මනුසත්කම ඉතාමත් වැදගත් වෙනවා. ඉංජිනේරුවරු, වෛද්‍යවරු වැනි තමා ගේ වෘත්තිය ක්ෂේත‍්‍රයට බාහිර ව සාහිත්‍ය කලාව ඉතිහාසය හදාරන ඒවාට ආදරය කරන විද්වතුන් බොහෝ සිටිනවා. ඒ අය අතරේ පොත් ලියන අය ඉන්නවා. සංගීතඥයන් ඉන්නවා. විවිධ කලා සාහිත්‍ය වැඩසටහන් කරනවා. ඒ විදියේ විවිධ අංශවල දක්ෂකම් පෙන්වනවා. මේ නිසා සාහිත්‍ය, කලාව ඉතිහාසය අමතක කරන්න හොඳ නැහැ. ඒවා හදාරන්න ඕනෑ. ප්‍රෞඪ ජාතියක් ගොඩනඟන්න පුළුවන් වන්නේ එවිට යි.

    නවීනත්වයට හුරු වනවා වගේ ම එහි තිබෙන සමාජ අභියෝග අප තේරුම්ගත යුතු වනවා. මම දන්නේ නැහැ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ කී දෙනෙක් සිය දිවි නසාගැනීම් පිළිබඳව පරීක්ෂණ කරලා පත‍්‍රිකා ඉදිරිපත් කරලා තිබෙනව ද කියලා. සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ ඉහළින් ම සිටින රටක් වුවත් ඒ සඳහා විසඳුම් ලබාදීමට අපි තවමත් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් ඇති වී තිබෙන මත්ද්‍රව්‍ය වැනි ප‍්‍රශ්නවලදි විද්වතුන් උගතුන් විදියට ඒවා මර්දනය කරන්න පාලනය කරන්න නිවාරණය කරන්න ඔබේ දැනුම සහයෝගය වඩාත් අවශ්‍ය වනවා.

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දීර්ඝ ඉතිහාසයක් තිබෙන විශිෂ්ටතම අධ්‍යාපන ආයතනයක්. ඔබේ ඊයේ දවස වගේම අද දවස පිළිබඳව මා සතුටු වනවා. අතීතයේ අත්දැකීම් සමග වර්තමානයේ වගකීම්වලදි අනාගතය පිළිබඳව එන අභියෝග ජයග‍්‍රහණය කරන්නට ඔබේ සූදානම, ජාතියේ අනාගතය සඳහා සූදානම් වීමක් විදියටයි මා දකින්නේ.

    අද පැවැති ප‍්‍රදර්ශනයත් ඔබේ ඉදිරි කටයුතුත් සියලු ආකාරයෙන් ම සාර්ථක වේවා යි සුබ පතමින්, ආශිර්වාද කරමින් මට මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, උපකුලපති සම්පත් අමරතුංග මැතිතුමා, විශ්වවිද්‍යාල සභාවේ අචාර්ය මහාචාර්යතුමන්ලා ඇතුළු ඔබ සෑම කෙනෙකුට ම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

    ස්තූතියි!.