නාගරික සංවර්ධන අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් යැපිය නොහැකියි – නව සභාපති නිමේෂ් හේරත් වැඩ භාරගනිමින් පවසයි

    August, 5, 2022

    රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය සුවිශේෂි වැඩ කොටසක් පැවරී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඊයේ (04-08-2022) වැඩ භාරගත් නිමේෂ් හේරත් මහතා පැවසීය. කිසිවිටෙකත් නාගරික සංවර්ධන අධිකාරියට මහාභාණ්ඩාගරයෙන් යැපිය නොහැකි යැයිද ඔහු සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබ ඇත.

    නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා බත්තරමුල්ල,සෙත්සිරිපාය දෙවැනි අදියරේ පිහිටි එම අධිකාරියේදී ඊයේ (04-08-2022) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාරගත්තේය. තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂ ගෞරව උපාධියක් හිමිකරගෙන ඇති නිමේෂ් හේරත් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පශ්චාත් උපාධි ආයතනයේ (PIM) අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

    මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කොට ඇති අතර ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ රාජ්‍ය අංශයේ ආයතනවල ව්‍යාපෘති කළමණාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර සංවර්ධනය, විකුණුම් සහ අලෙවි කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, ඇතුළු ක්ෂේත්‍ර රාශියක වසර 15කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත පුද්ගලයකි.

    වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවති උත්සවයේදී නව සභාපති නිමේෂ් හේරත් මහතා මෙසේ අදහස් දැක්වීය. රාජ්‍ය ආයතන නවීන තාක්ෂණය සමඟ සම්බන්ධවී වැඩ කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවකයනුත් තමන්ගේ යල්පැන ගිය අදහස් ඉවත දමා නව යුගයට ගැලපෙන ආකාරයට වැඩ කරන්න හුරු විය යුතුයි. නවීන ලෝකය සමඟ ගණුදෙණු නොකර අපිට ගමනක් යන්න බැහැ. මේ වනවිට අපේ රට අර්බුධ ගණනාවකට මුහුණදී සිටිනවා. ඩොලර් හිඟය ඒ අතරින් ප්‍රධානයි. මේ ඩොලර් හිඟයට විසඳුම් හොයන්නේ කොහොමද කියල අපි කල්පනා කරන්න ඕන. අපි නඩත්තු වෙන්න ඕන අපිම හොයාගන්නා මුදලින්. නාගරික සංවර්ධන අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු වෙන්න බැහැ. රජයට බරක් නොවී වැඩ කරන්න කියල මේ තනතුර භාර ගනිද්දි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මට උපදෙස් දුන්නා. අපි ඒ උපදෙස් අනුව වැඩ කරමු.මේ ආයතනයට වැඩ කරගන්න උගත්, බුද්ධිමත් ඉතා ධනවත් අය මෙන්ම දුප්පත්, අකුරු නොදන්නා ගැමියොත් එනවා. අපි ඒ සියළුම දෙනාට එකම විදියට සේවය ලබාදෙන්න ඕන. ඒනිසා වැඩ කරද්දි ඔබ හමුවට එන සියළුම දෙනා කෙරෙහි මානුෂීය ගුණයෙන් යුතුව සළකන්න කියල සියළුම සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

    නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු එම අධිකා‍රියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.