මහ බැංකුවට වඩා වාණිජ බැංකුවල ඩොලරයේ මිල වැඩි ඇයි?

    March, 9, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.35 ක් සහ විකුණුම් මිල රු. 198.68 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් වාණිජ බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාත සටහන් නිරීක්ෂණයේ දී පෙනී යන්නේ ඩොලරයේ විකුණුම් මිල මහ බැංකුවට වඩා අනෙකුත් බැංකුවල ඉහළ මට්ටමක ඇති බවයි.

    අද (09) දිනයේ දී ලංකා බැංකුව විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ රු. 200.28 ක් ලෙසිනි. මෙම අගය මහජන බැංකුවේ රු. 202.06 ක්, කොමර්ෂල් බැංකුවේ රු. 199.90 ක් සහ සම්පත් බැංකුවේ රු. 199.50 ක් ආකාරයෙන් විවිධ මට්ටම්වල පවතින බව එම බැංකුවල නිල වෙබ් අඩවි පිරික්සීමේ දී පෙනී යයි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පැවසුවේ වාණිජ බැංකු විසින් සිය ගනුදෙනුකරුවන්ට ඩොලර් විකුණන මිල ගණන්වල වෙනසක් පැවතිය හැකි බවයි.

    “මහ බැංකුව ප්‍රකාශයට පත් කරන්නේ බැංකු අතර සිදුවන අනුපාතය. බැංකුවක් තව බැංකුවක් සමග ගනුදෙනු කිරීමේ දී මිල දී ගන්න සහ විකුණන අනුපාතය අනුව තමයි ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ. බැංකුවක් ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවන්ට කීයට ද විකුණන්නේ, කීයටද ගන්නේ කියක එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්.  අනෙක් කාරණය අපි නිකුත් කරන එකත්, ඒ බැංකුවලින් ගන්න තොරතුරුවල සාමාන්‍යයක් තමයි අපි ප්‍රකාශයට පත්කරන්නේ“, යනුවෙන් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.

    මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ දී විදේශ විනිමය වෙළෙඳපොළට, ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු මැදිහත්වීමක් සිදුනොකළ බවත්, මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට විනිමය අනුපාතිකයේ යම්කිසි ස්ථාවරත්වයක් දැකිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.