රුපියල් USDT හුවමාරු ගැන හර්ෂ විමසයි

    January, 19, 2024

    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ  අන්තර්ගතය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව පසුගියදා (ජන. 16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇත.

    ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා ඇත.

    නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර්  50,000 ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා  ඇමෙරිකානු ඩොලර් 20,000  දීමනාවක් ඇත. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙන ලදී. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා  ඇමෙරිකානු ඩොලර් 200,000  සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා  ඇමෙරිකානු ඩොලර් 100,000 ක  ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර ඇත.

    මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළේය. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියේය. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින්  ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency)  මෑතකදී  පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බව  කාරක සභාව පවසන ලදී.

    මේ පිළිබඳ  දනුවත් වීමක් නොමැති බවක් ඒ  සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව නිලධාරීහු සභාපතිවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් පැවසුහ. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන්  තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීහු  වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.