ලංකාවේ පාසල්වලින් 15%කම ළමයි 50ට අඩුයි. 30%ක ගුරුවරු 10ට අඩුයි

    September, 6, 2024

    2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පිළිබඳ වාර්ෂික සංගණනයට අදාල නවතම දත්ත වාර්තාව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

    එහි සඳහන් දත්ත වලට අනුව 2023 වසරේ මෙරට සමස්ත රජයේ පාසල් වලින් 14.9%ක්ම ළමුන් 50කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් වීම කැපී පෙනෙන කරුණකි.

    මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව දැක්වෙනුයේ 10,096ක් ලෙසයි.

    ඊට ජාතික පාසල් 396ක් ඇතුළත් වන අතර ඊට අයත් පළාත් සභා පාසල් ගණන 9,700 ක්.

    මෙරට සමස්ත රජයේ පාසල් ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ වර්ග කරන අතර,

    1.  1AB කාණ්ඩයේ පාසල් එනම් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා උගන්වනු ලබන, උසස් පෙළ සඳහා කලා, වාණිජ සහ විද්‍යා යන විෂයමාලා ධාරා තුනම හැදැරිය හැකි පාසල් 988 ක්,
    2.  1C කාණ්ඩයේ පාසල් එනම් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා උගන්වනු ලබන නමුත් උසස් පෙළ සඳහා කලා සහ වාණිජ යන විෂයමාලා දෙක පමණක් හැදෑරිය හැකි පාසල් 1,975 ක්,
    3.  2 වන කාණ්ඩයට අයත් පාසල් එනම් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා පමණක් අධ්‍යාපනය හැදෑරිය හැකි පාසල් 3,273 ක්,
    4.  3 වන කාණ්ඩයට අයත් පාසල් එනම් 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණියේ දක්වා හෝ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා පමණක් අධ්‍යාපනය හැදෑරිය හැකි පාසල් 3,860 ක්, ලෙස එම කාණ්ඩ හතර පෙන්වා දිය හැකියි.

    මෙම කාණ්ඩ හතරට අයත් පාසල් අතරින් 1AB කාණ්ඩයේ පාසල් සහ 1C කාණ්ඩයේ පාසල් සියල්ල ජාතික පාසල් වන අතර අනෙකුත් පාසල් සියල්ල පළාත් සභා යටතේ පාලනය වෙයි.

    මෙම සමස්ත රජයේ පාසල් 10,096 තුළ අධ්‍යාපනය ලබන මුළු සිසුන් සංඛ්‍යාව 3,882,688ක් වන අතර ඒ සඳහා අනුයුක්ත ගුරුවරුන් සංඛාව 237,787කි.

    කෙසේ වෙතත් මේ අතරින් පාසල් 1,506ක්ම 50ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් වන අතර ළමුන් 4,000ට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ඇත්තේ 33ක් පමණි.

    මෙම පාසල් අතර ගුරුවරුන්ගේ බෙදීයාම පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන්නේ මෙම පාසල් සඳහා අනුයුක්ත සමස්ත ගුරුවරු සංඛ්‍යාව වන 237,787 අතරින්,

    1. 1AB කාණ්ඩයේ පාසල් තුළ ගුරුවරු 80,457 ක්,
    2. 1C කාණ්ඩයේ පාසල් තුළ ගුරුවරු 65,064 ක්,
    3. 2 වන කාණ්ඩයට අයත් පාසල් තුළ ගුරුවරු 57,899 ක්,
    4. 3 වන කාණ්ඩයට අයත් පාසල් තුළ ගුරුවරු 34,367 ක්, ලෙස ඔවුන් සේවයේ යෙදෙන බවයි.

    කෙසේ වෙතත් සමස්ත රජයේ පාසල් 10,096  අතරින් පාසල් 3,117 කම එනම් 30.9% කම සේවයේ යෙදෙනුයේ ගුරුවරු 10කට අඩු ප්‍රමාණයක් වීම ද මෙම දත්ත වාර්තාව මගින් නිරීක්ෂණය කළ හැකියි.

     

    මීට අමතරව මෙරට තුළ පෞද්ගලික පාසල්, විශේෂ පාසල් සහ පිරිවෙන් 949 ක් තුළ සමස්ථ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 209,215ක් අධ්‍යාපනයේ යෙදෙන අතර  ඔවුන් වෙනුවෙන් අනුයුක්ත කර ඇති සමස්ථ ගුරුවරු සංඛ්‍යාව 15,773 කි.

    දිලුම් ද අල්විස් විසිනි