May, 25, 2026
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් ලෙස වාර්තා වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317.16ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එමගින් මෙරට සමස්ත අපනයන කාර්යසාධනය මෙහෙයවීමෙහිලා සේවා අංශයේ වර්ධනය වන වැදගත්කම සහ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය මැනවින් පිළිබිඹු වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.3% ක වර්ධනයකි. මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම 4.8% ක වර්ධනයක් සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 4,524.62ක් වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,259.76ක් දක්වා ඉහළ ගොස් ඇත. අභියෝගාත්මක ගෝලීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද අත්පත් කරගත් මෙම ප්‍රගතිය හරහා මෙරට අපනයන අංශයේ පවතින ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය මෙන්ම දැනුම මත පදනම් වූ ආර්ථිකයේ වර්ධනය වන වැදගත්කම මැනවින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය (Resilience) මැනවින් පිළිබිඹු වන බවයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන උපායමාර්ගික පියවරයන් සහ වෙළඳපල විවිධාංගීකරණ ප්‍රයත්නයන් ඉදිරි අපනයන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් ශක්තියක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සේවා අංශයේ වර්ධනය තොරතුරු තාක්ෂණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් සේවා (Transport & Logistics) යන අංශවලින් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, උසස් රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙයි.
මෙම ධනාත්මක අපනයන කාර්යසාධනය 2026 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර සහ දිරිගන්වන සුළු ප්‍රකෘතිමත් වීමේ මාවතක පවතින බවට පැහැදිලි සලකුණකි.



Video Story