පසුගිය කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 67%කින් පහළට

    October, 19, 2026

    2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ.

    පසුගිය 2026 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක් දක්වා 24%ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළ ද මෙම කාර්තුව තුළ දී සමාගමේ විකුණුම් පිරිවැය රු. බිලියන 64.62 සිට රු. බිලියන 94.84 ක් දක්වා 46%කින් ඉහළ ගොස් තිබීම සෘජු ලෙසම සමාගමේ මෙහෙයුම් ලාභයට බලපෑම් එල්ල කර තිිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ දළ ලාභය රු. බිලියන 5.73 සිට රු. බිලියන 2.47ක් දක්වා 57%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව මෙම කාර්තුව තුළ දී සමාගම රු. මිලියන 295ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

    කෙසේවෙතත් රු. බිලියන 1.75 ක මූල්‍ය ආදායම හමුවේ මෙම කාර්තුවේ දී රු. මිලියන 962ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගමට හැකි වී ඇත.

    2025 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ දී රු. බිලියන 2.95ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක මෙම කාර්තුවේ දී රු. මිලියන 962ක් දක්වා බදු පසු ශුද්ධ ලාභය 67%ක පහළ යාමක් වාර්තා කර තිබේ.

    එසේම මෙම තත්ත්වය තුළ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ ලංකා IOC සමාගමේ බදු පසු ශුද්ධ ලාභය රු. බිලියන 5.28 සිට රු. බිලියන 2.48ක් දක්වා 52%කින් පහළ ගොස් ඇති බව මෙම මූල්‍ය වාර්තා සඳහන් කරයි.

    පසුගිය කාර්තුවේ සමාගමේ ආදායම් ප්‍රකාශය පහතින් දැක්වේ.