ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් එක්වෙයි 

    May, 27, 2022

    එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන්හි තරඟකාරීත්වය ප්‍රවර්ධනය කරයි

    පුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමඟ කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල් වේ.

    එම අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ අදහස් දක්වමින්, “ඔබේ සිල්ලර වෙළඳසැල් සඳහා සැපයුම් කරන කුඩා ව්‍යාපාර ආර්ථිකය සක්‍රීයව පවත්වාගැනීමටත් රැකියා නිර්මාණයටත් මග සලසනවා” යනුවෙන් ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය පැවසුවා ය. “කීල්ස් සමඟ වන මෙම සහයෝගීතාවය පදනම් වී ඇත්තේ ආහාර පිරිසැකසුම් අංශයේ සේවය කරන කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින්ගේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් බෙදාගත් දැක්මක් මතයි."

    මෑතකදී අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම හරහා, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ. ජ. නියෝජිතායතනයේ පෞද්ගලික අංශ  සංවර්ධන (PSD) ව්‍යාපෘතියත් කීල්ස් සිල්ලර දාමයේ මෙහෙයුම්කරු වන  Jaykay Marketing Services පෞද්ගලික සමාගමත් අතර හවුල්කාරීත්වය ශක්තිමත් කරනු ලැබේ. USAID හි PSD ව්‍යාපෘතිය මෙම හවුල්කාරීත්වය හරහා ඩිජිටල් අළෙවිකරණය, ගෝලීය සහතිකකරණය සහ මූල්‍ය ඇතුළු විවිධාකාර සේවාවන් වෙත ප්‍රවේශය ලබාදෙමින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරනු ඇත. ඔවුන්ගේ තරඟකාරීත්වය වර්ධනය කරනු පිණිස කීල්ස් මෙම ව්‍යවසායන් නව වෙළඳපලවල් සමගින් සම්බන්ධ කරනු ඇත.

    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අදහස් දක්වමින්, "අපගේ සිල්ලර සන්නාමය වන කීල්ස් හි දැක්ම වන්නේ අපේ ජාතියේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. USAID සමඟ ඇති මෙම හවුල්කාරීත්වය මෙම දැක්ම සමඟ පෙලගැසී ඇති අතර ප්‍රජාවන් සවිබල ගැන්වීමට සහ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර , කුඩා, සහ මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට, ඔවුන්ගේ සන්නාමය දෘශ්‍යතාව උපරිම කරවීමට,  ඊ-වාණිජ්‍යය භාවිතා  කිරීමට යොමුවීමට සහ තිරසාර ව්‍යාපාර භාවිතයන් ක්‍රියාවට නැංවීමට අප ගන්නා වෑයම් තව දුරටත් ව්‍යාප්ත කිරීමට ඉන් අපට අවස්ථාව සලසා දෙනවා. අපි මෙම හවුල්කාරීත්වය සහ කුඩා ව්‍යාපාර සඳහා, විශේෂයෙන්ම, කාන්තාවන් සතු සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන  ව්‍යාපාර සඳහා තවදුරටත් සහාය වීමට බලාපොරොත්තු වනවා."

    ජෝන් කීල්ස් හෝල්ඩිංස් පීඑල්සී (JKH PLC) යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන අතර එහි සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සෑම ප්‍රදාන ක්ෂේත්‍රයක්ම ස්පර්ෂ කරයි. දිවයින පුරා අලෙවිසැල් 128 කින් සමන්විත කීල්ස් සිල්ලර වෙළඳ ජාලය, ගොවීන් 4000ක් සහ මහා පරිමාණ සහ කුඩා පරිමාණ සැපයුම්කරුවන් 1000ක් හරහා සැපයුම් ලබන අතර, JKH PLC හි අනුබද්ධිත Jaykay Marketing Services (Pvt) Ltd (JMSL) විසින් එය මෙහෙයවනු ලැබේ. තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට කීල්ස්  කැපවී සිටින අතර ‘ජනතාව, ග්‍රහලෝක සහ ලාභය’ යනු එහි ව්‍යාපාරික ආකෘතියට මගපෙන්වන මූලධර්මයකි.

    ක්ෂුද්‍ර, කුඩා, සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ තරඟකාරීත්වය, ඵලදායී රැකියා, නවෝත්පාදන සහ වෙළඳපල සම්බන්ධතා වැඩි කරන මූල්‍ය පහසුකම් සැපයීම හරහා  USAID හි PSD ව්‍යාපෘතිය ක්ෂුද්‍ර, කුඩා, සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවස්ථා පුළුල් කරයි. මෙම ව්‍යාපෘතිය, ස්වශක්තිය වර්ධනයටත්, ස්ථායීතාව ශක්තිමත් කිරීමටත් ආර්ථික වර්ධනය දිරිගැන්වීමටත් එක්සත් ජනපද සහ ශ්‍රී ලාංකික ජනතාව අතර කාලයක් තිස්සේ පවත්නා හවුල්කාරීත්වයේ එක් අංගයකි.