May, 8, 2026
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත.
2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 24.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.6) ක වාර්තාගත ලාභයක් අත්කරගෙන ඇත. එය පසුගිය වසරට වඩා 7% ක වැඩිවීමකි. සමූහය ඩිරාම් බිලියන 150.5 ක (ඇමරිකානු ඩොලර් බිලියන 41.0) ක වාර්තාගත ආදායමක් අත්කරගෙන ඇති අතර එය පසුගිය වසරේ ප්‍රතිඵලයට වඩා 3% ක වැඩි වීමකි.
ලොව වඩාත් ම ලාභදායක ගුවන් සේවය ලෙස එමිරේට්ස් ගුවන් සේවය සිය ස්ථානය තවදුරටත් රඳවා ගනිමින්, බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 22.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2) ක වාර්තාගත ලාභයක් අත්කරගෙන ඇත. එය පසුගිය වසරට වඩා 7% ක වර්ධනයකි. තවද සමූහයේ ආදායම වාර්තාගත ලෙස ඩිරාම් බිලියන 130.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 35.7) ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 2%ක වැඩි වීමකි.
එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: “අපගේ මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ අප මුහුණදුන් අසීරු අභියෝග ද අභිබවා යමින් අත්කරගත් මෙම කැපී පෙනෙන ප්‍රතිඵල මගින්, ආරක්ෂාව, විශිෂ්ටත්වය, නවෝත්පාදනය, සේවක පිරිස සහ හවුල්කාරීත්වයන් තුළ මුල් බැසගෙන ඇති එමිරේට්ස් සමූහයේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය හා නොසැලී සිටීමේ හැකියාව නැවත නැවතත් තහවුරු කරයි.”
“2025-26 මුල් මාස 11 තුළදී සමූහයේ දැක්ම ඉතා ධනාත්මක විය. අපගේ නිෂ්පාදන හා සේවා සඳහා ඇති දැඩි ඉල්ලුම, අපගේ ආදායම වැඩි කිරීමට හේතු වූ අතර නිෂ්පාදන, සේවක පිරිස, තාක්ෂණය සහ වෙළඳ සන්නාමය වෙනුවෙන් අප සිදුකළ තිරසර ආයෝජනවලට ස්තූතිවන්නට අපි යහපත් ආන්තිකයන් අත්කර ගනිමින් සිටියෙමු. එලෙස මාසයෙන් මාසයට අපි අපගේ ඉලක්ක ඉක්මවා යමින් සිටියෙමු.”
“පෙබරවාරි 28 වන දින යුධමය ක්‍රියාකාරකම් හමුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ ගෝලීය වාණිජ ගුවන් ගමනාගමනයට විශාල වශයෙන් බාධා එල්ල විය. අපගේ සේවක පිරිසට සහ බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහය වීමටත්, අපගේ වත්කම් ආරක්ෂා කර ගැනීමටත් හා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම තහවුරු කිරීමටත්, එමිරේට්ස් හා dnata විසින් වහාම පියවර ගන්නා ලදී.”
අතිගරු ෂෙයික් අහමඩ් මහතා තවදුරටත් පැවසුවේ: “එමිරේට්ස් සමූහය මීට පෙරත් විවිධ වූ අර්බුද හා බාධාවන්ට මුහුණ දී තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදී ම අපි අපගේ ගනුදෙනුකරුවන් හා අපගේ සේවක පිරිස කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා ශක්තිමත් ව නැවතත් නැඟී සිට තිබෙනවා.”
“සීඝ්රයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක් තුළ එම වෙනස්කම්වලට යුහුසුළුව ප්‍රතිචාර දැක්වීමට, ඒ හැකියාව ලබා දුන් අපගේ සේවක පිරිස අපගේ සාර්ථකත්වයේ විශාල කොටසට හිමිකම් කියනවා. අපගේ සියලුම සේවකයින්ට මම මෙහිදී ස්තූති කිරීමට කැමතියි. තීරණාත්මක කාලවලදී එමිරේට්ස් සමූහය ඔසවා තැබීමට සමත් වූ එම ගුණාංග ඔවුන් මනාව නිරූපණය කර තිබෙනවා.”
2025-26 වසර තුළදී, සමූහය විසින් සිය වර්ධන සැලසුම් වෙනුවෙන් නව ගුවන් යානා, පහසුකම්, උපකරණ, සහ නවතම තාක්ෂණයන් සඳහා සම්පූර්ණයෙන් ඩිරාම් බිලියන 17.9 (ඇමරිකානු ඩොලර් බිලියන 4.9) ක් ආයෝජනය කර ඇත.
එමිරේට්ස් ගුවන් සේවයේ කාර්යසාධනය
පසුගිය මූල්‍ය වර්ෂයට වඩා සමස්ත මෙහෙයුම් පිරිවැය 2% කින් වැඩි විය. 2025-26 දී ගුවන් සමාගමේ විශාලතම පිරිවැය සංරචක දෙක වූයේ ඉන්ධන සහ සේවක පිරිවැය යි. 2024-25 දී තිබූ 31%ක අගයට සාපේක්ෂව මෙම වසරේදී මෙහෙයුම් පිරිවැයෙන් ඉන්ධන සඳහා යෙදවූ පිරිවැය ප්‍රමාණය 29%ක් විය.
එමිරේට්ස් ගුවන් සේවය ඩිරාම් බිලියන 19.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.4) ක නව වාර්තාගත ශුද්ධ ලාභයක් අත්කරගත්තේ පසුගිය වසරේ ඩිරාම් බිලියන 19.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.2) ක අගයට සාපේක්ෂවය. මෙය ගුවන් සමාගමේ ඉතිහාසයේ මෙන් ම 2025-26 වාර්තාකරණ වර්ෂය සඳහා සමස්ත ගුවන් සේවා කර්මාන්තයේ හොඳම කාර්යසාධනයයි.
එමිරේට්ස් SkyCargo සමාගම කැපී පෙනෙන වසරක් වාර්තා කළ අතර ලොව පුරා භාණ්ඩ ටොන් මිලියන 2.4 ක් ප්‍රවාහනය කර ඇත. එය පසුගිය වසරට වඩා 3% ක වර්ධනයකි. එමිරේට්ස් SkyCargo ඩිරාම් බිලියන 16.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.4) ක ශක්තිමත් ආදායමක් වාර්තා කළ අතර එය එමිරේට්ස් හි මුළු අදායමට 12% ක දායකත්වයක් ලබා දී ඇත.
එමිරේට්ස්, dnata සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් ඇතුළත් එමිරේට්ස් සමූහයේ 2025-26 වාර්ෂික වාර්තාව: www.theemiratesgroup.com/annualreport වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
Video Story